සජබේ ඩීල් දාන විදිහ ගැන සජිත් කියයි
බලය වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් ප්රගතිශීලී බලවේග සමඟ අත්වැල් බැඳගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ‘ගමින් ගමට දොරින් දොරට’ ජංගම සේවා වැඩසටහන යටතේ කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේදී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා
.“එදා මැතිවරණ සමයේ ජනතාව සමඟ ඇති කරගත් සමාජ ගිවිසුම නැවත වරක් අලුත් කර ජනතාව වෙනුවෙන් කැපවීමෙන් විපක්ෂයෙන් සිදු විය යුතු සේවාව ඉටු කරන්න සූදානම්. මේ ගොවියන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇති නිසා ඒ සෑම ගැටලුවක්ම පාර්ලිමේන්තුවේත්, එයින් පිටතත් ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ සඳහා ප්රගතිශීලී බලවේග සමඟ අත්වැල් බැඳ ගන්නවා. හුදෙක් එය මැති ඇමැතිකම්, ජනාධිපතිකම්, අගමැතිකම්, සංස්ථා සභාපතිකම් බෙදා ගන්න නොව, ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමටයි. සමගි ජන බලවේගයට ඇති එකම ඩීල් එක ලක්ෂ 220ක් ජනතාවට සංවර්ධන යුගය උදාකර ජන ජීවිතය සුඛිත මුදිත කිරීමයි. එහිදී අවස්ථාවාදී දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් එකතු වීමට කටයුතු කරනවා.”
යනුවෙන් පැවසීය.