දර්ගා නගර රෝහලේ වෛද්‍ය සේවාවට නව ආරම්භයක් - බිලියනයක වාට්ටු සංකීර්ණය විවෘතයි
දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ රුපියල් බිලියනයක වියදමින් ඉදිකරන ලද නව තෙමහල් කායික රෝග වාට්ටු සංකීර්ණය පසුගිය 29 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණි. මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය වර්ග අඩි 38,400ක වපසරියකින් යුක්ත වන අතර, ඇඳන් 4කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ ඇඳන් 96කින් යුත් ළමා හා මාතෘ වාට්ටු ඇතුළු වාට්ටු 4කින් සමන්විත ය.
අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙම නව පහසුකම් හේතුවෙන් කළුතර සහ බේරුවල රෝහල්වල රෝගී තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවයි. එසේම, නව කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.