බදියුදීන්ගේ පෙත්සම සලකාබැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි.

Police Rizard badiyudeen Highcort
By Aruna Jul 05, 2021 08:02 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුන් එම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම අද (05) සලකාබැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් ඉවත් වන බවය.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ලබන 8 වනදා සලකාබැලීමට දින නියම කර තිබේ.

මෙම පෙත්සම් සලකාබැලීම සඳහා මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවලදී ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා අවස්ථා තුනකදී පුද්ගලික හේතූන් මත පෙත්සම සලකාබැලීමෙන් ඉවත් වී තිබීම විශේෂත්වයකි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වන දා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha