"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්
දිට්වා සුළි කුණාටු ව්‍යසනයේ ප්‍රතිඵල නිසි ලෙස කළමනාකරණය නොකළහොත් 2026 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ(15) අනතුරු ඇඟවීය.
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු සංචාරක අමාත්‍යවරයා පැවසුවේ, සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික හානිය ඉතා දරුණු මට්ටමක පවතින අතර, මෙම අර්බුදයට මුහුණ දීම සඳහා රජයට සහ ජනාධිපතිවරයාට පැහැදිලි සැලැස්මක් නොමැති බවයි.
කෘෂිකර්මාන්තය සහ ආහාර අංශයේ සිදුවූ පාඩු නිසා ඇමරිකානු ඩොලර් ඉල්ලුම තීව්රව ඉහළ යාමේ අවදානමක් ඇති බවත්, රජය මෙතෙක් නිසි හානි තක්සේරුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු චෝදනා කළේය.
“නිසි සැලැස්මක්, වැඩපිළිවෙළක් හෝ ප්රක්ෂේපණයක් නැත්නම්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික කඩාවැටීමකට ගමන් කරනු ඇතැයි”
“අද දවස ලියා තබාගන්න. අපි ඔබට අනතුරු ඇඟව්වා. අප්‍රේල් 15 වැනිදා ඩොලරයේ තත්ත්වය බලන්න, රට මුහුණ දෙන ආර්ථික හැකිලීම කොයි තරම්ද කියලා බලන්න. මට එහෙම වෙන්න ඕන නෑ, නමුත් මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළොත් එය සිදුවෙනවා ඇති”
සුළි කුණාටුවේ ආර්ථික බලපෑම නිසා ඉන්ධන සැපයුමට අවශ්‍ය විදේශ විනිමය අර්බුදයකට රට ගමන් කරමින් පවතින බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“කරුණාකර හානිය නිවැරදිව ගණනය කරන්න. රජයෙන් පිටත අත්දැකීම් ඇති අයට - රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු තත්ත්වය කළමනාකරණයට උදව් කළ හැකියි”
ඔහු යෝජනා කළේය.