වහිනවා කිව්වොත් පායනවා..පායනවා කිව්වොත් වහිනවා..මෙරට කාලගුණ අනාවැකි වැරදීමට හේතුව හෙළිවෙයි..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Oct 19, 2024 04:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික විගණකාධිපති කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් ඔස්සේ අනාවරණව වී ඇත්තේ, වර්තමානය වනවිට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළකරන අනාවැකි සහ පුරෝකථනවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගැටලු මතුවීමට එම දෙපාර්තමේන්තුවේ පවතින අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවී ඇති බවයි.

නිලධාරින්ගේ අක්‍රමවත් වැඩපිළිවෙළ හේතුවෙන් ජපානයෙන් පරිත්‍යාග කෙරුණු නවීන තාක්ෂණයෙන් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ද මෙරටට අහිමි වී ඇති බවයි, එහි දැක්වෙන්නේ.

ලෝකයේ කාලගුණ අනාවැකිවල නිර්වද්‍යතාව පවත්වාගැනීම සඳහා අති නවීන උපකරණ අත්‍යාවශ්‍ය වන නමුත් මෙරට කාලගුණික දෙපාර්තමේන්තුව එවැනි උපකරණවලින් සන්නද්ධ නොමැත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය වර්ෂාමාන 122න්, 2023 වසරේ මැයි මස 31 වැනි දිනය වන විට ක්‍රියාත්මකව ඇත්තේ, වර්ෂාමාන 70ක් පමණි.

ඒ අනුව වර්ෂාමාන 52ක් පමණ අක්‍රීය තත්ත්වයේ පැවති ඇති අතර ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනිදා වනවිටත් නඩත්තු කර තිබුණේ වර්ෂාමාන 36ක් පමණි.

එමෙන්ම විගණකාධිපති කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, දිවයින පුරා ස්ථාපිත කර ඇති සාම්ප්‍රධායික වැසි මාපක 453න්, 44ක් අඛණ්ඩව දත්ත ලබාදීම් සිදුනොකරන අතර ඒවායේ නඩත්තු කටයුතු පවා සිදුනොවන බවයි.

මෙවැනි තත්ත්වයක කාලගුණ විද්‍යා අනාවැකිකරණයේදී අත්‍යවශ්‍ය තාක්ෂණයක් වන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැතිව, වසර 15ක් පුරා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි සහ පුරෝකථන ලබාදීම සම්බන්ධයෙන්ද විගණකාධිපති වාර්තාවේ අවධානය යොමු ව තිබේ.

පුත්තලම සහ පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භූමියේ ඩොප්ලර් රේඩාර් පද්ධති 2ක් 2021 වසර වනවිට ඉදිකර අවසන් කිරීමට 2017 වසරේදී මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජපානයේ ජයිකා ආයතනය සමඟ ගිවිසුම් ගත ව ඇති බවයි, එහි දැක්වෙන්නේ.

ඒ සඳහා ත්‍යාග ප්‍රධානයක් ලෙස ලැබී ඇති මුදල රුපියල් මිලියන 563.58කි. එහෙත් එම මුදලින් නියමිත ගිවිසුම් කාලය අවසන් වන විට වියදම් කර ඇත්තේ රුපියල් 370,161ක් පමණි.

ගිවිසුම් ගතවූ නියමිත කාලය තුළ ඩොප්ලර් රේඩාර් පද්ධති 2ක ඉදිකර අවසන් කිරීමට කටයුතු නොකිරීම නිසා පසුව ඊට අදාළ උපකරණ හා භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ ගැටලුව ද මතුව තිබේ.

ඒ අනුව 2022 වසරේදී ජයිකා ආයතනය ඩොප්ලර් රේඩාර් පද්ධති 2ක් නොව එකක් පමණක් සවිකිරීමට එකඟත්වය පළ කර ඇති බවද සඳහන් වේ.