අපේක්ෂකයන් ඡන්දය ඉල්ලූ හේතුව ජනපති හෙළිකරයි

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

මෙවර තමන් පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නොව, අද රටට අහිමි වී ඇති නිදහස පිළිබඳ කතාවක් බව නිදහස් දිනය වෙනුවෙන් ජාතිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බොහෝ දෙනෙක් මෙතෙක් කල් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් රැකියාවක් ගැනීමට, දරුවෙක් පාසලට දාගැනීමට, ටෙන්ඩරයක් පාස් කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම අපේක්ෂකයන් වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේද රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් බලය ලබා ගැනීමට, වරප්‍රසාද භුක්ති විඳිමට සහ වැඩිපුර ටිකක් හම්බ කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තු බව ජනාධිපතිවරයා පවසනවා.

සියලු දෙනා පොරොන්දුවලට කොටු වී සටන් පාඨවලට හිර වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කියා සිටියේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්නට පටන් ගත් බවයි. 

 දේශපාලනඥයින් පොරොන්දු ඉටු කිරීම සඳහාත්, සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගැනීමට පෙළඹුණු බවද, ඒ හරහා රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුනු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා උත්සාහ කරන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දීමට නොව, රෝග නිධානයට පිළියම් යෙදීමට බවද, එය දුශ්කර වුවත් යා යුතු එකම මාර්ගය එය බවද 75 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now