හිටපු ඇමතිගේ අවුරුදු 19 පුතාට රනිල් බාර් ලයිසන් දීලා...?
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) අවසර ලබාදුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් දෙමින් සඳහන් කලේ ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටිනවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් , ඉකුත් වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වන සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වනදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවට චෝදනා කළා.
හිටපු අමාත්‍යවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරුන්, දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙසේ මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවත් සඳහන් කර සිටියා. මෙම පෙත්සම් කාල විරෝධී වීමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බවත් මේ තුළින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළා.
එසේම මෙම නඩුකරයට පාදක වන සුරාබදු රෙගුලාසි අහෝසි වී දැන් අලුත් රෙගුලාසි නිකුත් කර තිබෙන බවත් ඇය වැඩිදුරත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය නොවැම්බර් මස 19 වනදා සිදුකිරීමටද දින නියම කළා.
