දීපාවලියට කලින්ම අභ්‍යවකාශයෙන් කැමරාවට හසු වූ අයෝධ්‍යාවේ රාම් මන්දිරය - විස්මිත චන්ද්‍රිකා ඡායාරූප එළියට
ඉන්දියාවේ අයෝධ්‍යාවේ පිහිටි සුප්‍රසිද්ධ රාම් මන්දිරයේ අභ්‍යවකාශයේ සිට ලබාගත් අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ෆින්ලන්තයේ ක්ෂුද්‍ර චන්ද්‍රිකා නිෂ්පාදන හා මෙහෙයුම් සමාගමක් වන ICEYE විසින් මෙම ඡායාරූප නිකුත් කර ඇති අතර, ඒවා 2026 ඔක්තෝබර් 30 වැනිදා අභ්‍යවකාශයේ සිට ලබාගෙන තිබේ.
දීපාවලී උත්සවය නිමිත්තෙන් නොවැම්බර් 6 වැනිදා සමාගමේ නිල X ගිණුම හරහා ඉන්දීය හවුල්කරුවන්ට, පාරිභෝගිකයන්ට සහ සේවකයන්ට සුබපැතුම් එක් කරමින් මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබුණි.
එම ඡායාරූප අතරින් එකක සරයු ගංගාව ආශ්‍රිතව පිහිටි අයෝධ්‍යා නගරයේ පුළුල් දර්ශනයක් දැකගත හැකි අතර, අනෙක් ඡායාරූපයෙන් රාම් මන්දිරය සහ ඒ අවට ප්‍රදේශය වඩාත් සමීපව නිරීක්ෂණය කළ හැකිය.
මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ ICEYE සමාගම සතු Synthetic Aperture Radar (SAR) චන්ද්‍රිකා පද්ධතිය භාවිත කරමිනි.
එහි විශේෂත්වය වන්නේ දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත්, වලාකුළු ආවරණයක් පවතින අවස්ථාවලදීත් පෘථිවියේ ඡායාරූප ලබාගැනීමට හැකි වීමයි.
එමෙන්ම මෙම ඡායාරූප සඳහා සෙන්ටිමීටර් 25ක විභේදන මට්ටමක් සටහන් කර තිබීම ද විශේෂත්වයකි.
2024 ජනවාරි මාසයේදී දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් අනතුරුව විවෘත කෙරුණු රාම් මන්දිරය, ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික සිද්ධස්ථානයක් ලෙස සැලකේ.
මේ අතර, මෙවර නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් අයෝධ්‍යාව පුරා විශේෂ සැමරුම් සංවිධානය කර තිබේ.
එහි දසවැනි දීපෝත්සව සැමරුම වෙනුවෙන් නොවැම්බර් 7 වැනිදා සරයු ගංගා ඉවුරේ පිහිටි ඝාට් 56ක් ආලෝකවත් කරමින් පහන් මිලියන 3කට අධික සංඛ්‍යාවක් දල්වා තිබූ බව ද වාර්තා වේ.