සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර, ඒ පිළිබඳව 2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් සහ නාලක දිසානායක මහතාගේ ලේකම්ත්වයෙන් යුතු 15 දෙනෙකගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව වෙත රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් දීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික ප්‍රවණතාවන්ට අනුව රාජ්‍ය සේවය ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය කිරීමේ නිර්දේශ ලබාදීමේ වගකීම පැවරී ඇත.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප් පිළිබඳ ගැටලු විසඳීමට වසර විස්සකට පසුව කොමිෂන් සභාවක් ස්ථාපිත කළ අතර, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීම සඳහා මෙවැනි කොමිෂන් සභාවන් පත් කළේ ඉතිහාසයේ පළමු වතාවට බවයි.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඇතුළු දීර්ඝකාලීන ගැටලුවලට මීට පෙර විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් නොවූ බවත්, එක ක්ෂේත්‍රයක ගැටලු විසඳීමට යාමේදී තවත් ක්ෂේත්‍රයකට අසාධාරණයක් නොවන පරිදි සමස්ත රාජ්‍ය සේවයටම අදාළ විද්‍යාත්මක විසඳුමක් ලබාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.