අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ ඒ සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
තවද වෛද්‍යවරයා අවධාරණය කළේ යම් දරුවෙකු නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සහ දියර ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම මෙම උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙසද ඔහු දන්වා ඇත.
ඊට අමතරව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගීවන අය ජලය පානය නොකිරීම නිසා විජලන තත්ත්වය මෙන්ම තාප කම්පන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවයි.
එබැවින් මරණය පවා සිදුවිය හැකි බැවින් වඩාත් සැලකිලිමත්වන ලෙස ද ඔහු සඳහන් කර සිටියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ,
''අව්වේ ඉන්නවා නම් පාසල්වල ක්‍රීඩා තරගවලට සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.. ඒ හින්දා වැඩිපුර වතුර බොන්න ඕනේ.. ස්වාභාවික දියර ආහාර වර්ග පාවිච්චි කරන්න ඕනේ.. නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත රිදෙන එක වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම වැඩිපුර වතුර සහ දියර ආහාර ලබා දෙන්න.. දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද මේ දවස්වල වැඩිවෙන්න පුලුවන්.. ඒ නිසා දරුවන් දවසට දෙපාරක් විතර නාවන්න.. විනාඩි 20ක් වගේ බය නැතිව වතුරේ තියන්න. ඒකෙන් සමේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුලුවන්. ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙන අය වැඩිපුර වතුර බිව්වේ නැත්තම් විජලන තත්ත්වය වගේම තාප කම්පන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුලුවන්. තාප කම්පන තත්ත්වයන්වලදී හෘදයට වගේම මොළයට බලපෑම් ඇති වෙන්න පුලුවන්. වලිප්පුව, ක්ලාන්තය ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම මරණය පවා සිදු විය හැකියි.''