විපක්ෂයේ කුඩු සල්ලි බෙදා ඡන්ද ගත් අය ගැන විමර්ශන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මේ මස පැවති පළාත් පාලන මැතිවරණයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඇතැම් අපේක්ෂකයන්ට මුදල් ආධාර ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, සංවිධානාත්මක අපරාධ කල්ලි දේශපාලන ක්‍රියාවලියට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවත්ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී, පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. ඔහුට ලැබී ඇති තොරතුරු අනුව, ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්ට මුදල් සපයා ඇති අතර, එම අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් තේරී පත්ව ඇත.
ජනාධිපතිවරයා මෙය “භයානක අනාගතයක සංඥාවක්” ලෙස විස්තර කරමින්, අපරාධ කල්ලිවලට දේශපාලන අනුග්‍රහය අහිමි වූ මොහොතක, ඔවුන්ට පාලනය කළ හැකි දේශපාලකයින් පත් කර ගනිමින් නීති විරෝධී ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගැනීමට උත්සාහ කරන බව පවසා ඇත.
මෙම රැස්වීමේ අරමුණ වූයේ ඉහළ මට්ටමේ විමර්ශන පැවැත්වීමේදී සහ චෝදනා ගොනු කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සාකච්ඡා කිරීමයි. නීතිපති පරින්ද රණසිංහ, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට උපදෙස් දී ඇත්තේ, අපරාධ කල්ලි ප්‍රාදේශීය දේශපාලකයින්ට සහාය වන බවට ඇති චෝදනා විමර්ශනය කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි නඩු කඩිනම් කිරීමට වහා පියවර ගන්නා ලෙසයි.
රෝහන්ත අබේසූරිය මහතා යෝජනා කර ඇත්තේ, සංවිධානාත්මක අපරාධ විභාග කිරීම සඳහා විශේෂිත අධිකරණ පිහිටුවීමයි. බරපතල අපරාධ පිළිබඳ තොරතුරු ලැබුණු විට, පොලිසිය විසින් නීතිපතිවරයා වහා දැනුවත් කර, විමර්ශන ආරම්භ කර, අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසා ඇත.
දිලීප පීරිස් මහතා පෙන්වා දී ඇත්තේ, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධතාවයේ බිඳවැටීමක් පවතින බවයි. මෙම ගැටලුව සහ එම සබඳතාවය ශක්තිමත් කරන ආකාරය ගැන රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සඳහන් කර ඇත්තේ, පසුගිය කාලයේ දක්ෂ නිලධාරීන් 400කට වැඩි පිරිසක් විවිධ ප්‍රදේශවලට මාරු කිරීම විමර්ශනවල අඩුපාඩුවලට හේතුවක් බවයි. මෙම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු පවසයි.
එසේම, මිග් ගනුදෙනුව වැනි ජාත්‍යන්තර වංචා සම්බන්ධ නඩු ප්‍රමාද වීම ගැනද සාකච්ඡා වී ඇත. අන්‍යෝන්‍ය නීති සහාය (MLA) යටතේ සමහර රටවලින් අපේක්ෂිත සහය නොලැබීම මීට හේතුව බව පෙන්වා දී ඇත. අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා පවසන්නේ, විදේශ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, තානාපතිවරුන් යොදා ගනිමින් නීති සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සංවර්ධනය කළ හැකි බවයි.
