ලක්ෂ 40ක් මාටියා ගහපු මනුස්සයට ජනපති සමාව
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එල්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (4දා) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.
