දෙවරක් පැන ගිය කොටි දෙනට අත්වූ ඛේදනීය ඉරණම - කුසේ සිටි පැටවුන් තිදෙනෙකුත් අහිමි වූ බෙංගාලයේ සංවේදී කතාව

Report

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බක්සා කොටි රක්ෂිතයට නැවත කොටි ගහනයක් ඇති කිරීමේ අරමුණින් වෙනත් වනාන්තරයක සිට රැගෙන ආ කොටි දෙනකට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් මේ වනවිට දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

‘දූආර්ස් රාණි’ (Dooars Rani) ලෙස නම් කර ඇති මෙම තුන් හැවිරිදි රාජකීය බෙංගාල කොටි දෙන, බිහාර් ප්‍රාන්තයේ වාල්මිකි කොටි රක්ෂිතයේ සිට බක්සා කොටි රක්ෂිතය වෙත රැගෙන විත් තිබුණේ එහි කොටි ගහනය යළි වර්ධනය කිරීමේ වැඩසටහන යටතේයි.

කෙසේ වෙතත්, නව වාසස්ථානයට පැමිණි දා සිට ඇයට මුහුණ දීමට සිදුව ඇත්තේ බලාපොරොත්තු නොවූ අභියෝග රැසකටයි. ඒ අනුව, පළමුව අසල්වැසි ඇසෑම් ප්‍රාන්තයට පලාගිය මෙම කොටි දෙන යළි බක්සා වෙත රැගෙන ඒමෙන් පසුව රඳවා සිටි ස්ථානයෙන් ද පලාගොස් තිබෙනවා.

මේ අතරතුර ඇයගේ ගැබ්ගැනීම අහිමි වී පැටවුන් තිදෙනෙකු ද මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ නොවැම්බර් 7 වැනිදා රාත්‍රියේ T-138 ලෙස හඳුන්වන මෙම කොටි දෙනගේ මාස දෙකක් පමණ වයසැති කළල තුනක් ගබ්සා වී ඇති බවයි.

දෙවරක් පැන ගිය කොටි දෙනට අත්වූ ඛේදනීය ඉරණම - කුසේ සිටි පැටවුන් තිදෙනෙකුත් අහිමි වූ බෙංගාලයේ සංවේදී කතාව | Pregnant Tiger Missing With Three Cubs

ගැබ්ගැනීම හඳුනා නොගැනීම ගැනත් ප්‍රශ්න

මෙම කොටි දෙන වාල්මිකි කොටි රක්ෂිතයේදී අල්ලා නිර්වින්දනය කර බක්සා වෙත ප්‍රවාහනය කර තිබුණේ සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා අතර කාලයේදීයි.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පශු වෛද්‍යවරුන් සහ විශේෂඥයන් ඇතුළු හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එක්ව තිබුණා.

එහෙත් එම පරීක්ෂණවලදී කොටි දෙන ගැබ්ගෙන සිටින බව හඳුනාගෙන නොතිබීම මේ වනවිට විමර්ශනයට ලක්ව ඇති ප්‍රධාන කරුණක්. එම කණ්ඩායමේ සාමාජිකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ වනයේ සිටියදී ඇය ගැබ්ගෙන සිටින බව හඳුනාගත නොහැකි වූ බවයි.

කොටි දෙන ප්‍රවාහනය කිරීමේදී පැය 17ක පමණ ගමනක් තුළ අවස්ථා දෙකකදී නිර්වින්දනය කිරීමට ද සිදුව තිබෙනවා.

TikTok වීඩියෝවකට වන සතෙකු ගන්න ගිහින් 19 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි- "බල්ලෙක් කෑවා" කියා ඇත්ත වසන් කරන්න හැදූ TikTok තරුවත් අත්අඩංගුවට

TikTok වීඩියෝවකට වන සතෙකු ගන්න ගිහින් 19 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි- "බල්ලෙක් කෑවා" කියා ඇත්ත වසන් කරන්න හැදූ TikTok තරුවත් අත්අඩංගුවට

කිලෝමීටර් 100කට වැඩි දුරක් පලා යයි

බක්සා කොටි රක්ෂිතයට මුදාහැරීමෙන් පසුව ඇය කිලෝමීටර් 100කට වැඩි දුරක් ගමන් කරමින් ඇසෑම් ප්‍රාන්තයේ රයිමෝනා ජාතික වනෝද්‍යානයට ඇතුළු වී තිබෙනවා.

පසුව ඇය සොයාගෙන යළි අල්ලා බටහිර බෙංගාලයට රැගෙන ඒමට බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙම සිදුවීම්වලින් දින කිහිපයකට පසුව ඇයගේ කළල තුන ගබ්සා වීම වාර්තා වී තිබෙනවා.

ගබ්සා වූ කළල පරීක්ෂණ සඳහා සංරක්ෂණය කර ඇති බව ද වාර්තා වන අතර, සිදුවීම සම්බන්ධයෙන් බටහිර බෙංගාල රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර, කොටි දෙන රැගෙන ඒම සහ ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා මධ්‍යම රජයේ විමර්ශන කණ්ඩායමක් සහ ප්‍රාන්ත මට්ටමේ කමිටුවක් ද පත්කර තිබෙනවා.

එලොන් මස්ක්ගේ සහායත් ලැබෙයිද? - ජෙන්සන් හුවාං යළි එන්වීඩියා පුටුවට එන ලකුණු

එලොන් මස්ක්ගේ සහායත් ලැබෙයිද? - ජෙන්සන් හුවාං යළි එන්වීඩියා පුටුවට එන ලකුණු

කළල අහිමිවීමට හේතුව ප්‍රවාහනයේදී ඇතිවූ පීඩනයද?

කොටි දෙන අල්ලා ගැනීම, නැවත නැවත නිර්වින්දනය කිරීම, දිගු දුරක් ප්‍රවාහනය කිරීම සහ යළි අල්ලා ගැනීම වැනි සිදුවීම් ඇයගේ ගැබ්ගැනීම අහිමිවීමට බලපාන්නට ඇතිද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිදුවීම් සහ කළල අහිමිවීම අතර සෘජු සම්බන්ධයක් මෙතෙක් තහවුරු කර නැහැ. එමෙන්ම, කොටි දෙන බක්සා වෙත රැගෙන ඒමේ ව්‍යාපෘතිය නියමිත කාලසීමාවක් සපුරාලීම සඳහා කඩිනම් කර තිබුණේද යන්න පිළිබඳවත් විවේචන එල්ල වී තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මුලදී මන්දගාමීව පැවති සූදානම් කිරීම් හදිසියේ වේගවත් කරමින් ඔක්තෝබර් 2 වැනිදා වනවිට කොටි දෙන බක්සා වෙත රැගෙන ඒමට උත්සාහ කර ඇති බවයි. ඇසෑම් සිට යළි රැගෙන ආ පසු කොටි දෙන රඳවා තැබූ ස්ථානය සම්බන්ධයෙන් ද විවේචන මතුව තිබෙනවා.

වාර්තා වන පරිදි, කොටි දෙන රඳවා තැබීම සඳහා විශේෂයෙන් සකස් කළ පහසුකමක් වෙනුවට මීට පෙර මුවන් රඳවා තැබීමට භාවිත කළ ස්ථානයක් යොදාගෙන තිබෙනවා.

නව රඳවා තැබීමේ ස්ථානයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කර නොතිබීම හේතුවෙන් පැවති පහසුකම් භාවිත කිරීමට සිදුවූ බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ස්ථානයේ ආරක්ෂාව පිළිබඳවත් මේ වනවිට සැක මතුව ඇති අතර, ඇසෑම් සිට යළි රැගෙන ආ පසු කොටි දෙන එහි මායිම යටින් හාරා පලාගිය බවට තහවුරු නොකළ වාර්තා ද පළවී තිබෙනවා.

නොසිතූ මොහොතක පීලි පැන්න දුම්රිය - ඇසෑම් ප්‍රදේශයේ දුම්රිය මැදිරි හතක් පීලි පැන මගීන් රැසක් අනතුරේ

නොසිතූ මොහොතක පීලි පැන්න දුම්රිය - ඇසෑම් ප්‍රදේශයේ දුම්රිය මැදිරි හතක් පීලි පැන මගීන් රැසක් අනතුරේ

ඉන්දියාවේ සාර්ථක කොටි සංරක්ෂණ වැඩසටහන් අතරට බක්සා එක්වෙයිද?

කොටි දෙනක් එක් වනාන්තරයක සිට තවත් වනාන්තරයකට රැගෙන යාම පමණක් කොටි සංරක්ෂණ වැඩසටහනක සාර්ථකත්වය තීරණය කරන්නේ නැහැ.

ඒ සඳහා සුදුසු වාසස්ථාන, ප්‍රමාණවත් ආහාර සපයන සත්ත්ව ගහනයක්, නිසි පශු වෛද්‍ය පහසුකම්, හුරුකරවීමේ ස්ථාන සහ දිගුකාලීන නිරීක්ෂණ කටයුතු අත්‍යවශ්‍ය වනවා.

පසුගිය දශක දෙක තුළ ඉන්දියාව කොටි නැවත හඳුන්වාදීමේ වැඩසටහන් කිහිපයකින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.

රාජස්ථානයේ සරිස්කා කොටි රක්ෂිතය සහ මධ්‍ය ප්‍රදේශ්හි පන්නා කොටි රක්ෂිතය ඊට උදාහරණ වන අතර, දඩයම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලින් වඳවී ගිය කොටි ගහනය නැවත ස්ථාපිත කිරීමට එම වැඩසටහන් සමත් වී තිබෙනවා.

බක්සා කොටි රක්ෂිතයේ ද මීට පෙර සංචාරක කොටි වාර්තා වී තිබුණත්, එහි ස්ථිරව වාසය කරන සහ බෝවීම සිදුකරන කොටි ගහනයක් ස්ථාපිත කිරීම අභියෝගයක් වී තිබෙනවා.

එවැනි පසුබිමක ‘දූආර්ස් රාණි’ගේ පැමිණීම එම රක්ෂිතයේ නව පරිච්ඡේදයක ආරම්භය වනු ඇතැයි අපේක්ෂා කළත්, මේ වනවිට එම වැඩසටහනේ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුව තිබෙනවා.

දැනට කොටි දෙන බක්සා වනාන්තර ප්‍රදේශය තුළ රැඳී සිටින අතර, ඇයගේ රේඩියෝ කරපටියෙන් ලැබෙන සංඥා ඔස්සේ ගමන් මාර්ග නිරීක්ෂණය කිරීම සඳහා වන නිලධාරීන් 60ක් පමණ සහ පුහුණු අලි තිදෙනෙකු යොදවා ඇති බව ද මාධ්‍ය වාර්තා කරනවා.

යුද චිත්‍රපටයක දර්ශනයක් වගේ - ඇමෙරිකාවේ මිසිසිපි ගඟේදී සංචාරක නෞකාවක් තෙල් ප්‍රවාහන භාණ්ඩ නෞකාවක ගැටී පෙරළෙන්නට යයි- 130කට ආසන්න පිරිසක් ප්‍රාතිහාර්යයකින් බේරාගත් හැටි මෙන්න

යුද චිත්‍රපටයක දර්ශනයක් වගේ - ඇමෙරිකාවේ මිසිසිපි ගඟේදී සංචාරක නෞකාවක් තෙල් ප්‍රවාහන භාණ්ඩ නෞකාවක ගැටී පෙරළෙන්නට යයි- 130කට ආසන්න පිරිසක් ප්‍රාතිහාර්යයකින් බේරාගත් හැටි මෙන්න