අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටරගේ ටයි පටියෙන් ​පොලිස් නිලධාරියකුගේ ජෛව සාම්පල හමුවෙයි.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Death
By Wayomi Jun 29, 2023 10:08 AM GMT
Wayomi

Wayomi

Report

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය, පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව, විසින් ඊයේ (28) අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එම ආගන්තුක ජෛව සාම්පලය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී (සෝකෝ) පොලිස් සැරයන් (29541) සුනිල්ගේ ඩී.එන්.ඒ.සමඟ සැසඳෙන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවයි CIDය පවසන්නේ.

මෙම ආගන්තුක ජෛව සාම්පලය හඳුනා ගැනීම සඳහා මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරෙකු වන බ්‍රයන් තෝමස්, කොළඹ ජාතික ​රෝහලේදී දිනේෂ් ෂාෆ්ටර්ට ප්‍රතිකාර කළ හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්, පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණා.

එම සාම්පල අතරින් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී සුනිල්ගේ රුධිර සාම්පල සමඟ එම ආගන්තුක ජෛව සාම්පලය සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම විමර්ශනයට අදාළව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගෙන් ලබා ගත් DNA අණු කොටස් ප්‍රමාණවත් නොවන බැවින්, නැවත මවගෙන් DNA ලබා ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. 

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් අදාළ DNA පිළිබඳ බොරැල්ල ජින්ටෙක් ආයතනය ​හරහා පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් භාවිත කරන ලද ජංගම දුරකථනයේ දත්ත ගබඩා කර ගැනීමෙන් අනතුරුව එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට භාර දුන් අතර එම දුරකථනයේ දත්ත පරිශිලනය කිරීමට අවශ්‍ය නම් දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාට හෝ බිරිඳට ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළ හැකි බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

අදාළ නඩුව ලබන ජූලි 11 වැනිදා කැඳවීමට නියමිතයි.