අධ්‍යාපන ලේකම්ගේ නමට වාහන 139ක්.. ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන 139ක් අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවන බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. අදාළ වාහන මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බැවින්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: ජාතික විගණන කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන කරුණක් වන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020, 2021 සහ 2022 වසරවලදී රුපියල් මිලියන 52,219ක් වියදම් කර ඇති බවයි.
ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන 350ක් වියදම් කර ඇති නමුත්, සැලසුම් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව විගණන වාර්තාව හඳුනාගෙන තිබෙනවා. 2025 මාර්තු 26 වන විටත් මේ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් සකස් කර නොමැති බව වාර්තාවේ සඳහන්.
2024 මැයි මාසය වන විටත් උසස් පෙළ සිසුන් පමණක් නොව, සාමාන්‍ය පෙළ සිසුන් ද පාසලට පැමිණීම සීමා වී ඇති තත්ත්වයක් විගණනයට නිරීක්ෂණය වී තිබෙනවා. බොහෝ සිසුන් දැන් ටියුෂන් මගින් ඉගෙන ගන්නා බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමේ නිලධාරී පුරප්පාඩු 880ක් සහ ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 2,418ක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
චීන රජයෙන් ලද ප්‍රදානයක් ලෙස ලබාගත් සුහුරු පුවරු 500ක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති අතර, ඒ වෙනුවට සුහුරු පුවරු 10,000ක් මිලදී ගැනීමට පමණක් කටයුතු කර ඇති බව 2024 අගෝස්තු 08 වන විට හෙළි වී තිබෙනවා.