වාහන නඩුවක් යට ගැසීමට ලක්ෂ 10ක් ඉල්ලූ පොලිස් පරීක්ෂක අල්ලස් දැලේ - හෝටලයකදී සිදු වූ මෙහෙයුමෙන් කොටු වෙයි
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොමිෂන් සභාව සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව අධිකරණය හමුවේ අපරාධමය චෝදනා ගොනු නොකිරීම සඳහා සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ඇති බවයි.
ඒ අනුව, පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 1ක මුදලක් මීට පෙර ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් ලක්ෂ 9ක මුදල ලබාගැනීම සඳහා කළුතර ප්‍රදේශයේ හෝටලයකට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.