අවුරුදු ගණනක ගොවි පීඩාවට අවසානයක් - තිහගොඩ ගොවීන්ට රු. කෝටි 120ක වන්දි ප්‍රදානයක්

Report

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත් ලෙස ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න හතක් පුරා වගා හානි සිදුවී වගා කිරීමට නොහැකිව පීඩාවට පත් වූ තිහගොඩ ගොවි ජනතාව සඳහා වන්දි ප්‍රදානය කිරීම ඊයේ (22) වෙනිදා සිදු කෙරිණි.

ඒ අනුව, 2026 අයවැය මඟින් වෙන් කර ඇති රුපියල් මිලියන 1200 (කෝටි 120) ක මුදලින් තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය මිදෙල්ලවල පුරාණ මහ විහාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සවයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ, ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක (කෝටි 100) ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

ඉදිරියේදී නිල්වලා ගඟේ ජල ගැලීම් හා වර්ෂාපතන තත්ත්වයන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරමින්, හයිඩ්‍රොලික් විශේෂඥයින් ඇතුළු දේශීය හා විදේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත ආයතනයක් මඟින් අදාළ අධ්‍යයන කටයුතු සිදු කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම වේලි, ඇල මාර්ග, අමුණු සහ කැඩුණු පොම්පාගාර අලුත්වැඩියාව සඳහා තවත් රුපියල් මිලියන 10ක් සහ කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පවතින ඩෙංගු තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ස්ථාන 25,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඒ අතරින් ස්ථාන 775ක මදුරු කීටයන් හමුවූ බවයි.

රතු නිවේදන 598ක් නිකුත් කර ඇති අතර නඩු 330ක් ගොනු කර ඇති බවද ඔහු පැවසීය. මේ වන විට මාතර දිස්ත්‍රික්කයෙන් මරණ තුනක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ සහයෝගය ඉතා අඩු මට්ටමක පවතින බවත්, ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින්, නිලධාරීන් සහ ගොවි ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.