ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට නඩු
දිවයින පුරා මේ වන විට ඉතාමත් සක්‍රීයව ආරම්භ කර ඇති ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව මෙම සතිය තුළදී සිය පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝවීමට සෘජුවම ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව දැඩි ලෙස නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
නිල නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වැනි වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින නීතිමය ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේ ද අදාළ වැරදිකරුවන්ට එරෙහිව මෙලෙස සෘජුවම නීතිමය පියවර ගනු ලැබූ බවය.
රට තුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර මෙන්ම අහිතකර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති බරපතළ මහජන සෞඛ්‍ය ගැටලු කඩිනමින් වළක්වා ගැනීම සඳහා පොලීසියේ සෘජු මැදිහත් වීම සම්බන්ධයෙන් ගරු පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසය සහ දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම ස්ථාපිත කර ඇති පරිසර අංශයන් හී නිලධාරීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ද සමඟ එක්ව මහජනයා පුළුල් ලෙස දැනුවත් කරමින් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය සියලුම මගපෙන්වීම් සිදු කිරීම මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇත.
එහිදී ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අනෙකුත් සෞඛ්‍ය අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ විවිධ රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
මෙම දීපව්‍යාප්ත වැඩපිළිවෙල යටතේම පොදු නිවාස, පෞද්ගලික නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සේවා ස්ථාන, ආගමික ස්ථාන සහ විශාල ඉදිකිරීම් පරිශ්‍ර මූලික කරගෙන අඛණ්ඩව විශේෂ පරිශ්‍ර පරීක්ෂාවන් සිදු කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.