අගමැතිනියගෙන් පාසල් සිසුන්ට විශේෂ පණිවුඩයක්
ගෝලීය දැනුමෙන් සන්නද්ධ, ආත්ම ශක්තියෙන් පිරිපුන් මෙන්ම සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහි කිරීම රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
මඩකළපුව, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් සැප්තැම්බර් 14 වැනිදා පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය හමුවූ අතර, එහිදී ඇය මේ බව සඳහන් කළාය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අධ්‍යාපනික චාරිකාව සංවිධානය කර තිබිණි.
චාරිකාවේදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹීමට සිසුන්ට අවස්ථාව හිමි වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳවද ඔවුන් දැනුවත් කෙරිණි.
එමෙන්ම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ පාසල් දරුවන් වෙනුවෙන් එමගින් ලබාදෙන සේවාවන් පිළිබඳව සිසුන් දැනුවත් කළේය.
පරිසර ආරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා ශාක පැළ ලබාදීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා සහ සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් පිරිසක් එක්ව සිටියහ.