ඉන්ධන සම්බන්ධයෙන් ලබාදුන් විශේෂ දැනුම්දීම
බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණි. ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සහභාගී විය.
එහිදී අනාවරණය කෙරුණේ මේ වනවිට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වනවිට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බවය. බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය ඒ බව පැවසුවාය.
මේ වනවිටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් ඇය පැවසුවාය. විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිත කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්වරිය පෙන්වාදෙයි.
බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳව ද පැහැදිලි කළ ඔල්ගා මහත්මිය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බවද පැවසුවාය.
එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බව ඇය පෙන්වා දුනි. ඉන්ධන මිල නුදිරේදී ඉහළ යාහැකි ද? යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ලේකම්වරිය, ඒ හා සම්බන්ධ කථිකාවක් ඇතත් එවැනි තීරණයක් ගත යුත්තේ කල්පනාකාරීව බව කීය
. මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිදි සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ලෝක වෙළඳපොළ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, දේශීය මිල ද ඉහළ යාහැකි බවට බියෙන් බොහෝ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් පැවති බවද සඳහන් කළේය
. ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |