විශේෂ පිරිසකගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට තීරණය කරයි..
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙහිදී, විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බලරහිතකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176දෙනෙකු විසින් ගොනුකරනු ලැබූ රිට් පෙත්සමක් ඊයේ (27) සලකා බැලු අවස්ථාවේදී මේ බව දැනුම්දී තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණා.
එහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා ඇත. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් කළා.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (28) කැඳවන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.