“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද නිමාවට
'ඒහි පස්සිකෝ' ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් අදියර අද (28) දින පැවැත්වේ.
අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
එහිදී පස්වරු 4ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වේ. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිතයින් වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාරදීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 5.30ට නිදහස් චතුරස්රයෙන් නැවත ආරම්භ වන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමෙන් නිමාවට පත්වේ.
ලෝකයට සාමයේ පණිවිඩය ගෙන යන මෙම ජාත්‍යන්තර පාද යාත්‍රාව පසුගිය 22 දා දඹුල්ලෙන් ආරම්භ වූ අතර, ඊයේ (27) දින යක්කල සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කර ඇත.
මේ අතර අද දින කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හංදිය දක්වා සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල උදෑසන 11 සිට අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කළේය.