පිරිසිදු පානිය ජලය කියලා බීපුවගෙන් 90%ක් අසූචිලු - පරීක්ෂණ 96කින්ම ඔප්පු වෙලා
පස්සර ප්‍රාදේශීය සභාව මගින් පස්සර නගරවාසීන්ට සපයනු ලබන ජලයේ අසූචි මිශ්‍ර 'E. coli' බැක්ටීරියාව අඩංගු වන බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජල සාම්පල තත්ත්ව පරීක්ෂණාගාරයේදී සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම ජලය භාවිත කරන ආයතන අතරට පොලීසිය සහ රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ද අයත් වන බවයි. ජල සාම්පල 96 ක් පසුගිය 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට 2025 අගෝස්තු මාසය දක්වා කාලය තුළ පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් ප්‍රතිශතයක් ලෙස ගතහොත් ජලයෙන් 90% ක E.coli බැක්ටීරියාව අඩංගු වී ඇති බව තහවුරු වී ඇත.
නුමුණුකුල පාර්ශවයේ පිහිටි පුහුල්ලත්ත වැවෙන් සහ පස්සර මිල්ලබැද්ද ඉහළ ප්‍රදේශයේ උල්පතකින් මෙම ජල සැපයුම සඳහා ජලය සපයන අතර පුහුල්ලත්ත ජලාශය මේ දිනවල දිය සිඳෙමින් පවතියි.
මේ හේතුවෙන් අවට පරිසරය ද අපද්‍රව්‍යවලින් දූෂණය වී එම ජලයම පහළට ගලා යන හොරොව්වක් ඔස්සේද, රෝස්කොට් නව මාර්ගය ඔස්සේ ද රැගෙන යාම සිදු වී මෙලෙස හොරොව්ව අවටදී ද ජලය අපවිත්‍ර වන ආකාරය ද පෙනී යයි.
මෙම ද්විත්ව ආකාරයෙන්ම සැපයෙන ජලය නිසි ලෙස පවිත්‍ර කිරීම සඳහා, පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රෝහලට ඉහළින් රුපියල් කෝටි 6 ක වියදමින් ජල පවිත්‍රාගාරයක් ඉදි කර ඇතත්, එය මේ දක්වාම අක්‍රීයව පවතී. ජලය නිසි ලෙස නොලැබෙන බවටත්, නව ජල ව්‍යාපෘතිය යටතේ ජලය නොලැබෙන බවටත්, ලැබෙන ජලය අපිරිසිදු බවටත් ජනතාව චෝදනා කරති.
පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් පියදාස මහතා පැවසුවේ, මේ සියලු ගැටලු සහ අඩුපාඩු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. තව දුරටත්, මෙම ජල ව්‍යාපෘතිය සභාව මගින්ම ක්‍රියාත්මක කරනවාද, නැතිනම් ජාතික ජල සම්පාදන මණ්ඩලයට භාර දෙනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.