කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තැඹිලි පැහැයෙන් සැරසෙයි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක ගෝලීය වැඩසටහනට සහය පළ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (25) තැඹිලි පැහැයෙන් ආලෝකමත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙම විශේෂ වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබයි.
මෙම ගෝලීය ව්‍යාපාරය සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය හිමිවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ සඳහා සහය පළ කිරීමේ සංකේතයක් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංකේතාත්මක ලාංඡන පැළඳවීම ද සිදු කෙරිණි.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය ඇතුළත් ඇඳුම්වලින් සැරසී මෙම වැඩසටහනට එක්ව සිටියහ.
වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සහ පෙරටුගාමීන් අතර හමුවක් - අයවැයෙන් පසු උද්ඝෝෂණ රැල්ල නතර වෙන්නේ නැහැ - දුමින්ද නාගමුවගෙන් අනතුරු ඇඟවීමක්
2026 වසරේ ගෝලීය වැඩසටහනේ තේමාව වන්නේ “කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු” යන්නයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන සඳහා “This is my right” යන තේමාව යොදාගෙන තිබේ.
මේ අතර, වැඩසටහනට සමගාමීව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්හ.
එමෙන්ම, එවැනි ප්රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන අද (25) සිට දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා මෙම දින 16ක ගෝලීය වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ද දින 16ක් පුරා විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.