දරුවන්ට කොවිඩ් එන්නත දීමට භාරකරුවන්ගෙන් ලිඛිත අවසරයක් ඉල්ලයි

covid19 vaccination allergy immunization dr.G.Vijesooriya
By Sewvandhi Sep 22, 2021 06:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දරුවන්ගේ භාරකරුවන්ගේ අවසරයක් නොමැතිව කිසිදු දරුවෙකුට කොවිඩ් එන්නත ලබා නොදෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

 අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, දිවයින පුරා විවිධ සංකූලතා සහ ආබාධ සහිත දරුවන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සති දෙකක් තුළ ඔවුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් කළ හැකි බවත්ය. කෙසේ වෙතත්, ඒ සඳහා දරුවන්ගේ භාරකරුවන්ගේ ලිඛිත අවසරය අවශ්‍ය බවත් එලෙස අවසරයකින් තොරව දරුවන්ට එන්නත් ලබා දීම සිදු නොකරන බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

ඒ අනුව, අනිද්දා (සැප්. 24) සිට එහි මූලික පියවර ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් එම දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කරන බව ඔහු පැවසීය. අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ, කොවිඩ් වැළඳී මිය ගිය දරුවන් අතරින් 95%ක් ම විවිධ සෞඛ්‍ය සංකූලතා තිබුණු දරුවන් බවය.

"දැන් පටන් අරන් තියෙන්නේ දරුවන් කාණ්ඩය. එතකොට අපි මේගොල්ලන්ගේ යම් යම් සංකූලතා හඳුනා ගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලලා, ඊට පස්සේ විශේෂිත ආරක්ෂණ ක්‍රමවේදයන් මත තමයි මේක ලබා දෙන්නේ. ලබා දීලත් අපි මාස එකහමාරක් යනකම් පරීක්ෂා කරනවා.ඒ වගේ ම, වැක්සින් එක දුන්නට පස්සේ අපි කියනවා සාමාන්‍යයෙන් සති දෙකක් ගොඩක් දරුවාව මහන්සි කරවන්න එපා. දරුවා විවේකීව තබන්න කියලත් අපි කියනවා."

එමෙන් ම, දරුවන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම සිදු කරන්නේ ළමයින් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සිටින ප්‍රධාන රෝහල් මගින් පමණක් බව ද ඔහු පැවසීය.

"මේ එන්නත ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන් ම මූලික රෝහල්වල සිට ඉහළට තියෙන ලොකු රෝහල්වල පමණයි. කුඩා රෝහල්වල ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ. එහෙම නැති රෝහලකින් දෙන්නේ නැහැ. මුලින් ම ආරම්භ වෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දින තුනක් ම දෙනවා. ඊට පස්සේ එළඹෙන සඳුදා සිට බස්නාහිර පළාතේ දීලා, ඊළඟ මාසේ පළවෙනි දා සිට බොහෝ විට ලංකාව පුරා ම මූලික රෝහල්වල මේ එන්නත ලබා දීම සඳහා කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now