මෙරට ප්‍රධානතම ආගමික නායකයෙක් අපවත් වෙයි..
අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වී තිබෙනවා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69ක්.
1953 ජනවාරි 02 වැනි දින මාතලේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමා වන අතර මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවයි.
හත් වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 දී අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ ඉදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙනුයි පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වුයේ.
1968 වසරේ අනුරාධපුර ශ්‍රි මහා බෝධියේ උඩමළුවෙහිදී සසුන්ගත වූ පල්ලේගම සිරිනිවාස නාහිමි එවකට අටමස්ථානාධිපති ධූරය දැරූ ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නායක නාහිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් වශයෙන් බොහෝ ඇපකැප වීමෙන් කටයුතු කර තිබෙනවා.
සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන්කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව උන්වහන්සේට ලැබීමයි.
එකල ජයසිරි මහා බෝසමිඳුන්ගේ තේවාව සිදුකළේ ද සිරිනිවාස පොඩිහාමුදුරුවන් වීම විශේෂත්වයක්.
අනතුරුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළ සිරිනිවාස නාහිමියන් පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ මග පෙන්වීම අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස පත්වුණා.
බෝමළුව පන්සලට පැමිණීමත් සමඟම දිනපතා උදේ සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව හිමිවූ සිරිනිවාස නාහිමියන් කැලණිය විශ්වවිද්‍යාලයට 1984 දී ඇතුළු වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.
පසුව අභයගිරි විහාරයේ වැඩ බැලිමත් උන් වහන්සේ අතින් සිදුවුණා. අනලස්ව හා දක්ෂ ලෙස කටයුතු සම්පාදනය කළ සිරිනිවාස හිමියෝ කාගේත් ගෞරවාදරයට පාත්‍රවූ අතර 1995 වසරේදී රුවන්වැලි මහා චෛත්‍යයරාමාධිකාරිධුරයට පත්වුණා.
එම වසරේදීම සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද පිදුම් ලැබුවා.
එවකට අටමස්ථානාධිපති ධූරය හෙබවූ පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උත්තරීතර අටමස්ථානාධිපති ධුරයට සිරිනිවාස නාහිමියන් පත්වුයේ 1997 වසරේදීයි.
ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීම, දෙවෙනි රන්වැට පහතින් පිහිටි මළුව පුළුල්කර ආරක්ෂක ගේට්ටු සවි කිරීම හා බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවත නවීකරණය කරවීම, පරිපාලන කටයුතු විධිමත් කිරීම, මහා ප්‍රාකාර බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහාධර්ම ශාලාවක් කරවීම පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මුලිකත්වයෙන් වූ ප්‍රධානතම ශාසන කෘත්‍යයන් අතර වනවා.
බෝමළුව පන්සලේ අභිනව සංඝාවාසය දැකුම්කළු අයුරින් තැනවීම, බෝධීන් වහන්සේ සඳහා අලුතින් රන් ආධාරක කණු සවිකරවීම, බෝධීන් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමිය ඉදිරිපස හා ඒ අවට භූමි භාගයේ තිබූ ඉදිකිරීම් ඉවත්කර එම භූමි භාගය ඉතා අලංකාරවත් අයුරින් සකස් කිරීම සිරිනිවාස නාහිමියන් අතින් සිදුව ඇති තවත් පින්බර මෙහෙවරක්.
අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
