කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක්
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කර තිබෙනවා. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
ඊයේ (02) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා. පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. එම ආයතනවලට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකියි. එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය ද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කරගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකි බව ඔහු පෙන්වාදී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අභියෝග පැමිණිය හැකියි. එහෙත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතු වනවා.
ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව ප්‍රකාශ කළ අතර කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේ ද එවැනිම මතයක්. එය ජයගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යය බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර යම් අඩුවක් සිදු වුව හොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කියාසිටියේ.
ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නේ. කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |