සපුගස්කන්ද පිරිපහදුවෙන් වැසි ජලයට දැවි තෙල් මිශ්‍ර වෙයි
පවතින අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට දැවි තෙල් මිශ්‍ර වී තිබෙනවා. ඒවා කැළණි ගඟට එක්වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එම තත්වය වැළැක්වීමට සහ ඉන්ධන පැතිරීම වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.
පැවති දැඩි වර්ෂාපතනය හමුවේ පිරිපහදුවෙන් ඉවත්වන ඉන්ධන නැවත පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට (Separator Tanks) වැසි ජලය ඇතුලුවී පිටාර ගලා ගොස් තිබෙනවා.
වැසි ජලය සමග එක්වූ එම ඉන්ධන පැතිර යාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ඇතිවී ඇති අතර වැසි ජලය සමග මිශ්‍රවී ඇති මෙම දැවිතෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩුවීමෙන් පසු කැළණි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක්වීමේ අවදානමක් පවතින බවයි.
ඒ අනුව දැවි තෙල් මිශ්‍රිත ජලය කැළණි ගඟට එක්වුවහොත් කැළණි ගඟෙන් ජලය ලබාගන්නා බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාර මගින් පානීය ජලය බෙදාහැරීමට ද බලපෑමක් ඇතිවිය හැකියි. එම බලපෑම මැඩපැවැත්වීමට මෙන්ම ප්‍රදේශයේ සිදුවිය හැකි පාරිසරික බලපෑම මැඩපැවැත්වීම සඳහා පාවෙන ඉන්ධන බාධක (Floating Boom) යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් (Oil Skimmer) මගින් පෙරා ඉවත් කිරීමටත් කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාව කියාසිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |