ගිනිගත් නැවෙන් මුහුදට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ?

oil refinery express pearl peradeniya university Gamini rajapaksha
By Sewvandhi Jun 16, 2021 09:46 AM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියා සිටියේ මෙම ක්‍රමවේදයට අනුව කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් මුහුදු ජලයට එක්වන ඉන්ධන හා අනිකුත් රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි.

You may like this video


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මෙසේ ද පැවසීය. ‘‘ඒ සඳහා බෝගල පතලේ මිනිරන් ලබාගෙන මිනිරන් ව්‍යුහය වෙනස් කොට පැතලි මෙට්ට ආකාරයෙන් සකසා මිනිරන් ග්‍රෑම් එකකට කාන්දු වී ඇති ඉන්ධන ග්‍රෑම් 120ක් පමණ උරාගත හැකි ආකරයට එම ක්‍රමවේදය සකසා තිබේ.

මේ නවතම ක්‍රමවේදයට අනුව මුහුදට කාන්දු වී ඇති ඉන්ධන එක්රැස් කොට එම ඉන්ධන නැවතත් භාවිතයට ගත හැකි වීමද විශේෂත්වයකි. ලෝකයේ කිසිම රටක මේ දක්වා ක්‍රියාත්මක කොට නැති මෙම ක්‍රමවේදයට අදාළ පේටන්ට් බලපත්‍රය පවා අප ලබාගෙන තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමග එක්ව තමයි මේ ඉන්ධන ඉවත් කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. තවද මේ නැවේ ඉන්ධන විශාල ප්‍රමාණයක් ගබඩා කොට තිබෙනවා. මෙම ගබඩා කොට ඇති ඉන්ධන තොගය ඒ නැවෙන් වෙනත් නැවකට කාන්දු නොවී බැහැර කිරීම සම්බන්ධයෙන් ද අප මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා.

ඒ සඳහා අපට සහාය වීම සඳහා ඇමරිකාවෙන් විශේෂඥයෙක් ලංකාවට පැමිණ සිටිනවා. එම විශේෂඥයා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා එක්ව එම ඉන්ධන තොගය තවත් නැවකට ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ මේ වන විට කරමින් සිටිනවා. මේ කටයුත්ත සඳහා මහාචාර්ය අමරසේන පිටවල, මහාචාර්ය ජී.ආර්. කුමාර හා මම එක්ව විශේෂ පර්යේෂණ කිහිපයක් කළා.

එමගින් සාර්ථක විසඳුම් ලැබුණා. මේ නවීනතම ක්‍රමවේදය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙන්නේත් අප තිදෙනාටයි. මේ සඳහා භාවිත කරන විශේෂිත අමුද්‍රව්‍ය මිනිරන් බෝගල පතල මගින් නොමිලේ ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. පතලේ භාවිතයට නොගන්නා මිනිරන් තමයි අපි මේ සඳහා උපයෝගී කර ගන්නේ. ඉතාමත් ඉක්මනින් ඉන්ධන ඉවත් කිරීම ආරම්භ කිරීමට අප අදහස් කර තිබෙනවා.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now