අහස උසට තෙල් මිල - ඇමෙරිකා-ඉරාන ගැටුම හමුවේ බොරතෙල් මිල අඛණ්ඩව 4 වන දිනටත් ඉහළට

Report

වොෂින්ටනය සහ ටෙහෙරානය අතර යුද ගැටුම් කලාපය පුරා තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉරානය ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර එල්ල කිරීමත් සමඟ බදාදා මුල් වෙළෙඳාමේදී තෙල් මිල අඛණ්ඩව සිව්වන දිනටත් ඉහළ ගොස් තිබේ.

අලුයමවන විට බ්‍රෙන්ට් බොරතෙල් අනාගත මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 99.49ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.57ක හෙවත් 1.6%ක වැඩිවීමකි. එමෙන්ම එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.63ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.60ක හෙවත් 1.72%ක ඉහළ යාමක් බව වාර්තා වේ.

මාස හයක් පුරා පැවති යුද ගැටුමට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි පැවති බලාපොරොත්තු මැකී යමින් නැවතත් සටන් උත්සන්න වීමත් සමඟ අගෝස්තු මස මුල සිට බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය ඉරාන තෙල් ප්‍රවාහන නෞකා වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද විනාශක යුද නෞකා දෙකකට සහ ජෝර්දානයේ අල්-අස්රාක් ප්‍රදේශයේ එක්සත් ජනපද හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

මැදපෙරදිග පළි ගැනීමේ වියරුව උත්සන්න වෙයි - ඉරානයේ බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකාව සුන්නද්ධූලි කරයි

මැදපෙරදිග පළි ගැනීමේ වියරුව උත්සන්න වෙයි - ඉරානයේ බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකාව සුන්නද්ධූලි කරයි

ජෝර්දානයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉරානයෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 20කින් 18ක් විනාශ කර ඇති අතර, ඉතිරි මිසයිල දෙක ජනාකීර්ණ ප්‍රදේශවලට පතිත වූ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉරානයට අනතුරු අඟවා ඇත්තේ එක්සත් ජනපද යුද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර දක්වන බවයි.

කොලොම්බියාවේ සංචාරයක නිරතව සිටියදී මාධ්‍යවේදීන් අමතමින් රුබියෝ පවසා ඇත්තේ ඉරානය එක්සත් ජනපද නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමට දිගින් දිගටම උත්සාහ කරන්නේ නම්, එම සෑම අවස්ථාවකදීම ඉරාන තෙල් ප්‍රවාහන නෞකා අහිමි වනු ඇති බවයි.


 තවද, පසුගිය දින දෙක තුළ එක්සත් ජනපද නාවික හමුදා යුද නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින්, සැප්තැම්බර් 8 වැනිදා ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරීවරයා අඟහරුවාදා ප්‍රකාශ කර තිබේ.