O/L විභාගය නැවත කල් යයි?...පළමු ශ්‍රේණියට ඇතුළත් වීමත් පෙබරවාරියට.

Exam
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පළමු වසරට ඇතුළත් වීමට සුදුසුකම් ලබන දරුවන් සාමාන්‍යයෙන් ජනවාරි මස දෙවැනි සතියේ දී පමණ පාසල්වලට කැඳවෙන නමුත් කොවිඩ් වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් එම ක්‍රියාවලින් වෙනස් කිරීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටිනවා.

ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් පළමු ශ්‍රේණියට තෝරා ගත් දරුවන්ගේ අවසන් ලේඛන තවමත් ප්‍රසිද්ධ නොකිරීම මෙන්ම පසුගිය වසරට නියමිත වූ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට නොහැකි වීම යන කරුණු ද මෙම තත්ත්වයට හේතු වී ඇත.

මේ අතර බස්නාහිර පළාතේ හා වසාදමා ඇති වෙනත් ප්‍රදේශවල පාසල් හැර සෙසු සියලුම පාසල් නව වසර සඳහා මෙම 11 වැනිදා විවෘත කිරීමට නියමිතව ඇත.

පසුගිය වසරේ දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ විෂය නිර්දේශ කොටස් මෙම මාස දෙක ඇතුළත සම්පූර්ණ කරන ලෙස අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. සෞඛ්‍ය නිර්දේශානුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යාංශය තවදුරටත් දන්වා තිබේ.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ද කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අංශ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් මාර්තු මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇති විය හැකි යැයි අධ්‍යාපන බලධාරීහු පවසනවා.

ReeCha