පොලිසියේ වැඩවලට අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ - ආරක්ෂක ඇමති
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන ආ සභාව කල් තැබීමේ යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් විය.
මෙම යෝජනාව මගින් පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සහ එහි බලතල පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීම අරමුණු කර තිබිණි.
විවාදයේදී කරුණු දැක්වූ ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සඳහා තම රජය කැපවී සිටින බවයි. ඔහු පෙන්වා දුන්නේ, පහුගිය ආණ්ඩුව විසින් පොලිස් කොමිෂන් සභාවේ ක්‍රියාකාරකම් මහජන පැමිණිලි විභාග කිරීමට පමණක් සීමා කළ බවත්, දැනට එහි බලතල පුළුල්ව තිබෙන බවත්ය.
ආරක්ෂක ඇමතිවරයා අදහස් දක්වමින්;
"අපි සුවාධීන කොමිසන් සභා වෙනුවෙන් පෙනී හිටපු දේශපාලකයින්.. අපි ඒ වෙනුවෙන් කැපවුණු අය.. පහුගිය ආණ්ඩුව පොලිස් කොමිසම කියන්නේ මහජන පැමිණිලි විතරක් විභාග කරන්න සීමා කරා.. දැන් 85,000ක ඉන්න පොලිසියේ වැඩ වැඩිවෙනකොට යම් යම් තීරණවල් ගන්න ජාතික පොලිස් කොමිසමට බලතල තියෙනවා. ඒක තියන්නේ පොලිස් කොමිස් සභාවට.. ඒක නැතුව ඇමතිවරයට හෝ ජනාධිපතිට හෝ ගැසට් එකට එහෙම බලතලයක් නැහැ."
ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, දැනට පොලිස් සේවාවේ සාමාජිකයන් 85,000කට අධික සංඛ්‍යාවක් සිටින බැවින්, ඔවුන්ගේ සේවා කටයුතු සහ තීරණ ගැනීමේ බලතල ජාතික පොලිස් කොමිෂන් සභාවට පමණක් ඇති බවයි. ඔහු අවධාරණය කළේ, මෙම බලතල ඇමතිවරයාට හෝ ජනාධිපතිට හෝ ගැසට් නිකුත් කිරීම මගින් ලබාදිය නොහැකි බවයි. මෙය මගින් රජයේ අභිප්‍රාය වන්නේ පොලිස් සේවාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම බවද ඔහු සඳහන් කළේය.
මෙම යෝජනාවේ විවාදය මගින් පාර්ලිමේන්තුවේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ භූමිකාව සහ එහි ස්වාධීනත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ඇති වූ අතර, රජය සහ විපක්ෂය අතර මත ගැටුම්ද ඇති විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ, පොලිස් කොමිෂන් සභාවේ බලතල පුළුල් කිරීම මගින් පොලිස් සේවාවේ දේශපාලන මැදිහත්වීම් අවම කළ හැකි බවයි. රජයේ ප්‍රතිචාරය වූයේ, දැනටමත් සභාවට ප්‍රමාණවත් බලතල ඇති බවත්, ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
