පිළිකා රෝගීන්ට ගෙනා එන්නත් 160,000ක ලේබල් නෑ - ප්‍රතික්ෂේප වූ තොගය ලංකාවේදී පරීක්ෂා කරන්න NMRA ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඉල්ලයි
අවශ්‍ය මුද්‍රිත ලේබල් නොමැතිව ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ ෆිල්ග්‍රාස්ටිම් එන්නත් 160,000ක තොගය දේශීයව පරීක්ෂා කළ හැකිද යන්න පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සොයා බලමින් සිටී. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ආනයනය කළ මෙම එන්නත් තොගය, මීට පෙර සිදු කළ ඇණවුමකට අනුව පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
එහෙත් එන්නත්වල ඖෂධයේ සාමාන්‍ය නාමය, මාත්‍රාව, ලබාදෙන ආකාරය, කාණ්ඩ අංකය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදකයා ඇතුළු අනිවාර්ය තොරතුරු සඳහන්ව නොතිබීම හේතුවෙන් එම තොගය භාර ගැනීමට නොහැකි වූ බව NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
අනතුරුව අදාළ ආනයන සමාගම විසින් එන්නත් සඳහා දේශීයව ලේබල් ඇලවීමට අවසර ඉල්ලා ඇති අතර, ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය ස්වාධීනව තහවුරු කර ගැනීමකින් තොරව එම අවසරය ලබාදිය නොහැකි බව NMRA පෙන්වා දී තිබේ. මේ අතර, එන්නත් තොගයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විද්‍යාගාර පරීක්ෂණයක් සිදු කරන ලෙසද අදාළ සමාගම ඉල්ලා ඇත.
එවැනි පරීක්ෂණයක් සිදු කළ හැකි ආකාරය සහ ඒ සඳහා පවතින විකල්ප පිළිබඳව NMRA සොයා බලමින් සිටින අතර, ෆිල්ග්‍රාස්ටිම් ඖෂධය පරීක්ෂා කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් එය සාමාන්‍ය විද්‍යාගාරයකදී සිදු කළ නොහැකි බවද එම අධිකාරිය සඳහන් කරයි. '
ඉන්දියාවේ මේ සඳහා සුදුසු පරීක්ෂණ පහසුකම් නොමැති බවට තොරතුරු ලැබී ඇති බැවින්, අදාළ පරීක්ෂණ සිදු කළ හැකි විද්‍යාගාර හඳුනා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඉල්ලා ඇති බවද NMRA පවසයි. නිසි ලෙස ලේබල් නොකළ ඖෂධ රෝගීන්ට ලබාදීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම ඖෂධ භාවිතය සම්බන්ධ වගවීම පිළිබඳ බරපතළ ගැටලු මතුවිය හැකි බවද NMRA වැඩිදුරටත් අවධාරණය කරයි.