පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අද ගත් විශේෂ තීරණය

srilanka Parliment
By Sithumi Oct 12, 2021 12:02 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තුව ලබන සතියේ 21වන බ්‍රහස්පතින්දා සහ 22වන සිකුරාදා රැස්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එම තීරණය ගත් බවත් මහ ලේකම්වරයා පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම දෙදිනම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

ඔක්තෝබර් 21 වනදා පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය. අනතුරුව ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පොහොර භාවිතය සම්බන්ධ වර්තමාන ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 22වන සිකුරාදා පෙ.ව. 11.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය. අනතුරුව ප.ව. 5.30 දක්වා දිවා විවේකයකින් තොරව ආණ්ඩු පක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව 2021.03.10 සහ 2021.04.06 දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීමට ඇති හැකියාව පිළිබදව කාරක සභාවේදී සාකච්ඡා වී ඇති අතර පවතින කොවිඩ්-19 තත්ත්වය තවදුරටත් පහව ගිය විට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන ගැලරිය විවෘත කිරීම පිළිබඳ සලකා බැලීමට මෙහිදී තීරණය විය.