භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රමවේදයක් සකස් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව එහි වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය පවසා ඇත.
මෙම උපදෙස් හිමිව ඇත්තේ, වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුසාරයෙනි. ඒ අනුව, රන්ගිරි දඹුල්ල සංඝ සභාව නියෝජනය කරන ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ සමඟ ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ, භික්ෂුන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරුකිරීමක් ලබා ගන්නා බවත්, ඒ හා සමානව භික්ෂුණින් වහන්සේලා සඳහා ද විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව, වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේට භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් මේ වන විටත් නිකුත් කර ඇති බවද සූරියප්පෙරුම මහත්මිය සඳහන් කළාය.
2013 වසරේදී ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ විසින් භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත, භික්ෂුණි අනන්‍යතාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු නොවීම හේතුවෙන් එවකට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම තීරණයට එරෙහිව ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර, අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නියෝග කරන ලදී.
මෙම නියෝගයත් සමඟ, භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී භාවිත කළ යුතු විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව එම ක්‍රමවේදය ඉදිරි දිනවලදී අවසන් කිරීමට අපේක්ෂා කරයි.
