ජාතික ළමා අරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්
අද දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා ජාතික ළමා අරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක් නිකුත් කර ඇත.
එම පණිවුඩය පහතින්,
“ළමුන් හික්මවීම සඳහා දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කරමින් සිටිමු. ඒ අනුව රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළ දී ශාරීරික දඬුවම් සිදු කිරීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත. එහෙත් ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ වලින් නිශ්චිතව තහවුරු වන්නේ කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරික හා මානසික දණ්ඩනය ළමයාගේ පෞරුෂත්වය බලපෑමක් ඇති කරන බවයි.
1989 දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 19 වගන්තිය යටතේ ළමුන්ට සියළු ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියට අත්සන් තැබීම තුළ 1990 වර්ෂයේ සිටම ජාත්‍යන්තර වශයෙන් බැඳියාවක් දරයි. රටේ මූලික නීතිය ලෙස සලකන 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින්ද කිසිදු පුද්ගලයෙකුට හිරිහැර (torture) කිරීමකට හෝ කෲර, අමානුෂික හෝ අගෞරවනීය ආකාරයේ සැලකීමකට හෝ දඬුවමකට ලක් නොවී සිටීමට මූලික අයිතිවාසිකමක් ඇත.
මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය 308 (අ) වගන්තිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද පාසල් විනය පිළිබඳ 12/2016 සහ 11/2026 වක්‍ර ලේඛ මගින්ද දක්වා ඇත්තේ ළමුන් හික්මවීම සඳහා ශාරීරික හෝ මානසික හිංසනය කිසිසේත් භාවිතා නොකළ යුතු බවයි. ළමුන් වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී බොගෝටාහීදී පැවැති අමාත්‍යවරුන්ගේ පළමු ලෝක සම්මේලනයේදී දෙනු ලැබූ ප්‍රතිඥා අතරින් එක් සුවිශේෂී පොරෙන්දුවක් වන්නේ ළමුන් හික්මවීම සඳහා යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීමයි. එම කාර්යය තවදුරටත් ශක්තිමත් කරමින් සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පාසල් පරිසරයක් නිර්මාණය සඳහා ධනාත්මක ශික්ෂණය පිළිබඳ පාසල් ගුරුවරුන්ගේ දැනුම සංවර්ධනය කිරීමද කිරීමටද අප එකඟ වී තිබේ.
ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදු කරන ශාරීරික අපයෝජනයකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙතවාර්තා වන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි වර්ගය වනුයේ ශාරීරක හිංසනය සම්බන්ධ පැමිණිලි වන අතර වාර්ෂිකව 2000 – 2500ක් අතර ශාරීරික දඬුවම් ප්‍රමාණයක් වාර්තා වේ. මෙරට තුළ ශාරීරික දඬුවම් වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය සහ ධනාත්මක ශික්ෂණ ක්‍රමවේද ප්‍රවර්ධනය සහ පුහුණු කිරීම වෙන අවෙන් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරයි.
අප්‍රේල් 30 වන දිනට යෙදී ඇති ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙස මේ රටේ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ළමා කාලය සුරක්ෂිත කිරීම සඳහා ශාරීරික දණ්ඩනය වෙනුවට ධනාත්මක ශික්ෂණ ක්‍රම වේද වෙත නැඹුරු වන ලෙස ඉල්ලා සිටිමි. ළමුන්ට සියළු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය තහවුරු කිරීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීම වේ.”