භික්ෂූන් වහන්සේලාට විදේශගත වීම මින්පසු ලේසි වෙන්නේ නැහැ - අමාත්‍යාංශයෙන් දැඩි නීති
භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වන අවස්ථාවලදී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පනවා ඇති නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වීමේදී, උන්වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ, ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේ සහ නියෝජනය කරන නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශ ලබාගැනීම අනිවාර්ය කරමින් පෙර සිටම වැඩපිළිවෙලක් පැවති බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, විවිධ හේතු මත පසුගිය කාලයේ එම ක්‍රමවේදය අක්‍රමවත් වී තිබූ බවත්, එය නැවත විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සියලු නිකායන් නියෝජනය කරන ලේඛකාධිකාරී හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසී ඇති අතර, ඒ අනුව භික්ෂූන් වහන්සේලා විදේශගත වන අවස්ථාවලදී නායක මහනාහිමිපාණන් වහන්සේලාගේ අවසරය ලබාගැනීම අනිවාර්ය කරුණක් ලෙස එකඟතාවයකට පැමිණ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.