කඩදාසි ගොඩවල් ඉවරයි - රේගුවේ බහාලුම් නිදහස් කිරීමට අලුත් ඩිජිටල් ක්‍රමයක්
රජය ඩිජිටල්කරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ බහාලුම් මුදාහැරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩසටහනට අද (30) එක්වෙමිනි.
මෙම වැඩපිළිවෙළ හරහා නිලධාරීන්ගේ අභිමතය මත බහාලුම් මුදාහැරීම සිදු වන වටපිටාව වෙනුවට සියලු ආනයනකරුවන්ට එකම ක්‍රමවේදයක් යටතේ වේගවත් හා විධිමත් සේවාවක් ලබාදීමට හැකි වන බව ඔහු සඳහන් කළේය.
එමඟින් අල්ලස සහ දූෂණයට ඇති අවස්ථාද සැලකිය යුතු ලෙස අවම වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය මඟින් වෙළෙඳ ප්‍රජාවට කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකි වන බව මුදල් අමාත්‍යංශ නිවේදනය කළේය.
බහාලුම් මුදාහැරීම, ආනයන කටයුතු සඳහා මුදල් ගෙවීම් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවල ගාස්තු අයකිරීම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මෙලෙස ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර, මෙම ක්‍රියාවලිය අද (30) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම නව පද්ධතිය හරහා මෙතෙක් දින කිහිපයක් ගතවූ භෞතික ලියකියවිලි මත සිදු වූ කටයුතු, දැන් නාවික සමාගම්වලට සහ ආනයනකරුවන්ට ඔවුන්ගේ කාර්යාලයෙන්ම විනාඩි කිහිපයකින් සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කරයි.