ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? මුදල් අමාත්‍යාංශයේ රංග රාජපක්ෂගේ මරණය පිටුපස සැඟවුණු කතාව
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය නිවසේ ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
මෙම සිදුවීම පිළිබඳව අද පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව පොලිසිය පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිසිය පවසන්නේ, රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටින අයුරු දුටු ඔහුගේ දියණිය මවට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කර ඇති බවයි.
ස්ථානීය පරීක්ෂණයේදී කෙසෙල් පඳුරක් අසල විශාල ලේ පැල්ලමක් නිරීක්ෂණය වී ඇති අතර, ඔහුගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක්ද දක්නට ලැබී ඇත. එම ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරේ. කුලියාපිටිය මහේස්ත්රාත්වරියද ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇත.
අදාළ මුදල් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවස්ථා තුනකදී කැඳවා ප්‍රශ්න කර තිබූ අතර, ඔහුගේ පරිගණකයද විමර්ශන සඳහා භාරයට ගෙන තිබුණි.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් එවන ලද ව්‍යාජ ඊමේල් පණිවුඩයකට ප්‍රතිචාර දක්වීම හරහා මුදල් බැර කිරීමේ මූලික පියවර සිදුව ඇති බවයි. එම ඊමේල් පණිවුඩයට මුලින්ම ප්‍රතිචාර දක්වා ඇත්තේද ඔහු බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඔහුට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබූ අතර, වැඩ තහනමෙන් පසු ඔහු මානසික පීඩනයකින් සිට ඇති බවද වාර්තා වේ.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙම මරණය විමර්ශන කටයුතු සඳහා දැඩි බාධාවක් වී ඇති බවයි.