නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනෙක් අධිකරණයට [UPDATE]
නාවලපිටිය-තලවකැලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු සිව්දෙනෙකු අද (12) නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පිරිසට නගර සභා සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා, බෑණා සහ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයා ඇතුළත් වේ.
පසුගිය 10 වැනිදා රාත්‍රියේ නගර සභා සභාපතිවරයාගේ නිවස ඉදිරිපිටදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ ස්ථානයෙන් යතුරුපැදිය ඉවත් කිරීමට යතුරුපැදිකරු උත්සාහ කළ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි සභාපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ඔහුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නාවලපිටිය පොලීසිය, අසල ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූ දර්ශන ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.