ජනාධිපති පාර්ලිමේන්තුවේ එකක් කියලා සම්බන්ධීකරණ රැස්වීම්වලදී තවත් එකක් කියනවා - නාමල්
අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ගම්මානවල ගංවතුරින් විපතට පත් පාසල් සහ පෙර පාසල් දරුවන් වෙනුවෙන් පාසල් පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, ආපදා සහන ලබාදීමේදී රජයේ සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව බරපතළ චෝදනා එල්ල කළේය.
දෙහිඅත්තකණ්ඩිය රංහෙලගම් ගම්මානයේ ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදී පැවැති මෙම උත්සවයෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එක් ප්‍රකාශයක් කරන අතර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම්වලදී ඊට වෙනස් ප්‍රකාශයක් කරන බවයි.
"අපි විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මීට වඩා විශ්වාසය තැබිය යුතු බව"
නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, රජයේ සම්බන්ධීකරණ ගැටලු නිසා ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම ප්‍රමාද වී ඇති බවයි. "අපි යන හැම තැනකම දකින කාරණයක් තමයි සම්බන්ධීකරණයේ ගැටලුවක් තියෙනවා. ජනතාවට සහන දෙන්න තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුකළා. නමුත් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එයට වඩා වෙනත් ප්‍රකාශයක් එතුමාගේ කටින් කියවුණා," යි ඔහු සඳහන් කළේය.
චක්‍රලේඛණයක් නිකුත් කර ඇතත්, වන්දි ලබාදීමේ නිර්ණායක තවමත් නිකුත් කර නොමැති බවත්, මේ වන විට රුපියල් 25,000ක සහන මුදල සඳහා පමණක් නිර්ණායක ලැබී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
"ඉතාමත් කඩිනමින් ආණ්ඩුව ව්‍යසනයට පත්වු ජනතාවගේ නිවාස හානි, දේපල හානි, ජීවිත හානි, අනෙකුත් වෙළඳ ආයතනවලට සිදුවු හානි සහ විහාරස්ථානවලට සිදුවු හානි ගණනය කරලා නිලධාරීන් දැනුවත් කළ යුතුයි. අද වෙනකම් ආණ්ඩුව ඒ කටයුත්ත සිදුකරලා නැහැ. ඒක නිසා නිලධාරීන් අපහසුතාවයට පත්වෙලා තියෙනවා"
ජනාධිපතිවරයා කඩිනමින් ලිඛිතව නිලධාරීන් දැනුවත් කළ යුතු බවත්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සතියකට වරක්වත් කැඳවා ආපදා සහන සම්බන්ධ තීන්දු ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
"විකල්ප ඉඩම් ලබාදෙනවද, ලබාදෙන්නේ කොහොමද, ලක්ෂ 50ක මුදලක් දෙනවා කිව්වා. ජනාධිපතිවරයා ඒක දෙනවද? කොහොමද ඒක දෙන්නේ? ගෙයක් පුර්ණ හානි උනොත් රුපියල් ලක්ෂ 50ක් දෙනවා කිව්වා. ඒවා දෙන්නේ කොහොමද කියලා ප්‍රදේශයෙන් ප්‍රදේශයට තීන්දු ගත යුතුයි"
පළමුව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රීති සහ රෙගුලාසි සකස් කළ යුතු බවත්, පසුගිය කාලයේදී රජයෙන් ලබාදුන් පොහොර සහනාධාරය පවා සමහර ප්‍රදේශවල තවමත් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළේය. "එහෙම තියෙද්දි තමයි මේ ආපදාවලට ලක්වුණේ. විපතට පත් ජනතාවට සාධාරණ මුදලක් ලබාදිය යුතුයි," යි නාමල් රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පැවසීය.