රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකිරීමෙන් බලාපොරොත්තුවන්නේ මේකයි.. නලින්ද කියයි

By Shehan Oct 11, 2025 04:19 PM GMT
Report

නවක හෙද හෙදියන් 294 දෙනෙකු සහ වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු මෙන්ම ඖෂධවේදීන් 6 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුළත් කරගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ සිසු හෙද හෙදියන් වෙති.

වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්වවිද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂඥ උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත්වී අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන් වන අතර, තුන්වන ශ්‍රේණියේ ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකළ හා අවශ්‍ය අනෙකුත් සියලු සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන්ය.

ගුණාත්මක හා ප්‍රශස්ත රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රමුඛ කරගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් හා පළාත් සභා යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා 2025.10.15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නවක නිලධාරීන් අනුයුක්ත කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වීම් ලබාදීමෙන් අනතුරුව අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව ඉලක්ක සහගතව මෙහෙයවන බවත්, එමෙන්ම මේ දිනවල මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව ද අවධාරණය කළේය. ඒ අනුව ඉදිරි වසර දහයට සරිලන පරිදි සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත සකස් කරන බව ද සඳහන් කළේය.

වත්මන් රජය කිසිදු හිඟයකින් තොරව සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මුදල් සියල්ල ලබාදෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් ද රුපියල් බිලියන 604ක් වෙන්කළ බව ද පැවසීය. එළැඹෙන අයවැයේදී ඒ හා සමානව මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන්කරනු ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

තවත් හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන බවත්, එය සම්පූර්ණ කිරීමට නම් පුහුණුව සහිත කණ්ඩායම් බඳවාගත යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා උපාධිධාරීන් 875ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගත් බවත්, එම පිරිසට මාස හයක අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව මෙම මාසයේදී ආරම්භ කරන බවත්, එළැඹෙන අප්‍රේල් මාසය වනවිට එම පිරිසට හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබාදීමට හැකිවනු ඇති බවත් විශ්වාසය පළ කළේය.

නව කණ්ඩායම් හෙද විදුහල් සඳහා ද බඳවාගැනීමට මේ වනවිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා වෛද්‍යවරුන් සඳහා ද ප්‍රමාදයකින් තොරව පත්වීම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් බඳවාගැනීමට ගැටළු කිහිපයක් තිබූ බව ද අවධාරණය කළ අමාත්‍යවරයා එයට විසඳුම් ලබාදෙමින් අදියරෙන් අදියර එම තනතුරු සඳහා ද පත්වීම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

සෞඛ්‍ය කාර්ය සහායකයින් 2900ක හිඟයක් පවතින බව හඳුනාගෙන ඇති බවත්, එයින් 1900ක පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර පිරවීමට හැකිවනු ඇති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි සැලසුමකට අනුව එම බඳවාගැනීම් සිදුකරන බව ද සඳහන් කළේය.

රාජ්‍ය සේවාවේ වැටුප් වැඩිකිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ වෘත්තිකයන් රාජ්‍ය සේවාව තුළ රඳවාගැනීම මෙන්ම තෘප්තියක් සහිතව සේවාවේ නිරත වීම සඳහා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.