නොබෙල් නෙවෙයි ගිනස් වාර්තාවක් නේද තියලා තියෙන්නේ සොරි මට ටිකක් පැටලුණා, ආයෙත් නාපු හඳුන්නෙත්ති [VIDEO]
ලංකාවේ දේශපාලන වේදිකාවලදි බේගල් ඇඳ බාන ඇතැම් දේශපාලන කථිකයෝ ගැන ඉතින් මහජනතාවට අමුතුවෙන් අටුවා, ටීකා, ටිප්පනි ඕනේ නෑනේ.
කාලාන්තරයක් තිස්සෙම අවුරුදු පහෙන් පහට කියන හැම දේම අහන් ඉඳලා අපේ මහජනයත් මේ වෙනකොට හොඳ පදමට පත්තියන් වෙලා ඉන්නේ.
කොහොම වුණත් ඉතින් කියන බේගල් නිසා අතරින් පතර ජාත්‍යන්තර වශයෙනුත් හාස්‍ය උපහාස රස නංවන කතා, දේශපාලන චරිත ලෝකේ වගේම ලංකාවෙත් ඉන්නවා.
ඒ අතරේ වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ටිකක් පෙරමුණ ගන්නවා.
මොකද මීට කළිනුත් ලෝක ආර්ථික මණ්ඩලය (World Economic Forum) සංවිධානය කළ සමුළුවකට ගිහින් අමාත්‍යවරයා දැඩි කතාබහකට ලක් වුණ චරිතයක් වුණා.
ඔන්න දැන් ආයෙත් සුනිල් හඳුන්නෙත්ති මහතා කරපු ප්‍රකාශයක් නිසා ඔහුව මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ දැඩි උපහාසයට වගේම විවේචනයටත් බඳුන් වෙලා තියෙනවා.
ඒ ජපානයේ පැවැත්වූ තේ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගයක් හිමිවූ බවට සුනිල් හඳුන්නෙත්ති මහතා සිදු කළ ප්‍රකාශයක් මේ වන විටත් සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වීම නිසා.
මොකද ඔසාකා ලෝක ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව ජපානයේදී පවත්වන ලද තේ වෙන්දේසියේදී (Charity Auction) සුනිල් හඳුන්නෙත්ති කියනවා වගේ ශ්‍රී ලංකාවට හම්බ වුණේ නොබෙල් ත්‍යාගයක් නෙවෙයි ගිනස් වාර්තාවක්.
කෙසේ වෙතත් මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා දැන් කියනවා.
එහිදී ගිනස් වාර්තාවක් වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවත් එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.
ඒක කියන්නෙත් තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්. හැබැයි වැඩේ කියන්නේ වීඩියෝව උඩුගත කර විනාඩි කිහිපයකින්ම එය ඉවත් කිරීමටත් මේ වන විට කටයුතු කරලා තියෙනවා.
එක දිගට වුණ මේ සිදුවීම් නිසා මේ වෙන කොට සුනිල් හඳුන්නෙත්ති මහතා සමාජය ඉදිරියේ විහිළුවක් වෙලා කියලා තමයි ඇතැම් අය කියන්නේ.
ඒ අතරේ තව සමහරු එය අතපසු වීමක් කියලා ගොඩින් බේර ගෙන අමතක කරනවත් දකින්න ලැබෙනවා.
අතපසු වීම් කියන දේ ඕක කෙනෙක් අතින් වෙන්න පුළුවන් තමයි හැබැයි ඉතින් රටේ වැගත් යැයි සම්මත ඈයෝ, රටක් සමාජයක් බලන් ඉන්න ආකාරයට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරන කොට මීට වඩා ටිකක් ප්‍රවේශම් වුණා නම් තමා කාට කාටත් හොඳ.