එදා මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වේ හැම ගොවියාටම නෙවෙයි, උඩුනුවරයි යටිනුවරයි ගොවිතැන් කරපු ඉහළ කුලයේ ගොවියන්ට - නලින්ද ජයතිස්ස
ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, මිල අඩු වන පළමු අවස්ථාවේදීම එම සහනය රටේ ජනතාව වෙත පැවරීමට රජය කටයුතු කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
මැදපෙරදිග කලාපයේ දරුණු යුද වාතාවරණයක් පැවැති සමයේ මෙරටට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම අභියෝගය වූයේ හිඟයකින් තොරව තෙල් සැපයීම බව හෙතෙම පෙන්වා දුන්නේය.
එම සුවිශේෂී වටපිටාව තුළ ලෝකයේ අනෙකුත් රටවල් ඉන්ධන පරිභෝජනය සහ ප්‍රවාහන සේවා සීමා කරමින් තමන්ගේ ආර්ථිකයන් හකුලා ගැනීමට පියවර ගත්තද, ශ්‍රී ලංකාව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට සමත් වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, ඓතිහාසික කරුණු කිහිපයක් ද පැහැදිලි කළ අමාත්‍යවරයා, රොබට් නොක්ස් විසින් රචිත ‘එදා හෙළදිව’ කෘතියේ එන ‘මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි’ යන ප්‍රසිද්ධ කියමන පිළිබඳව ද අදහස් දැක්වීය.
ඔහු ප්‍රකාශ කළේ එම සඳහන එකල විසූ සෑම ගොවි ජනතාවක්ම අරමුණු කරගනිමින් ලියවුණක් නොවන බවයි.
එවකට උඩුනුවර සහ යටිනුවර ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ, සමාජයේ ඉහළම ස්ථර නියෝජනය කළ ප්‍රභූ ගොවි ප්‍රජාව සතු වූ සුවිශේෂී සමාජ පිළිගැනීම සහ රාජකීයත්වයට ගැලපෙන ගෞරවනීය තත්ත්වය අර්ථකථනය කිරීමට නොක්ස් එය භාවිත කළ බව හෙතෙම පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, කාලයත් සමඟ එම ප්‍රකාශය සමස්ත ගොවි ප්‍රජාවම ඇගයීමට ලක්කෙරෙන පොදු ජනවහරක් බවට පරිවර්තනය වී ඇති බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.