“මව්බිමට එන්න ආයෝජනය කරන්න” - ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට හඳුන්නෙත්තිගෙන් ඇරයුමක්
ශ්‍රී ලංකාවේ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්රය නංවාලීම සඳහා සක්‍රීයව දායක වන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය විසින් සංවිධාන කළ ‘Sri Lankan Entrepreneurs Night 2026’ ව්‍යවසායක සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙල්බර්න් නුවරදී ඊයේ (15) පැවති මෙම සමුළුවේදී වත්මන් ආර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේදී විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ආයෝජකයන්ට පැවරෙන වැදගත් කාර්යභාරය පිළිබඳවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර, ආයෝජන හිතකාමී සහ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් නිර්මාණය කරමින් පවතින බව පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මව්බිමේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට විවෘත ආරාධනයක් කළේය.
කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්රවල නව ආයෝජන, දැනුම හා නවෝත්පාදන මෙරටට ගෙන ඒම තුළින් රටේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම්, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරික නියෝජිතයන් රැසක් සහභාගි වූහ.