හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝටි 60ක් දීලා රත්තරන් ගන්න ගියේ කොහෙ තිබ්බ සල්ලිවලින්ද? සම්පූර්ණ පැටිකිරිය මෙන්න [PHOTOS]
ඝානා මාධ්‍ය මඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 60කට අධික මුදලක් ගෙවා රත්තරන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී වංචාවකට ලක්වීම සම්බන්ධ පුවතක් වාර්තා කර ඇත.
ඒ අනුව රත්‍රං ලබාදෙන බවට දුන් ව්‍යාජ පොරොන්දුවක් මත මෙම දැවැන්ත මුදල අහිමි කරගෙන ඇති හිස්බුල්ලා මහතාගේ පැමිණිල්ලකට අනුව, ඝානා ජාතිකයින් 11 දෙනෙකුගෙන් යුත් වංචා ජාලයක් එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.
මේ සියලු පුවත් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනෙක්ට පැන නැගී ඇති ගැටලුව නම් එවැනි ආදායමක් හිස්බුල්ලා මහතාට කොයින්ද යන්නයි. වාර්තා වූ ලෙස පසුගිය 2023 වසරේ මැද භාගයේදී පමණ ඝානා ජාතිකයන්ගෙන් සමන්විත ජාවාරම් ජාලයක් (සින්ඩිකේට් එකක්)මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලා මහතාට රත්‍රං තොගයක් ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගෙන ඇති බව ඉහත සඳහන් මාධ්‍ය වාර්තාවල පළ වුණා.
කෙසේ වෙතත් එහි දක්වා ඇත්තේ මෙම රත්‍රං ලබා නොදීමෙන් පසුව සැකකරුවන් මන්ත්‍රීවරයා සමග පැවැත් වූ සියලු සබඳතා නවතා දමා ඇති බව විමර්ශනවලින් හෙළි ව ඇති බවයි.
එහෙත් යළි 2025 වසරේදී මෙම සැකකරුවන් හිස්බුල්ලා මහතා සම්බන්ධ කර ගෙන ඇති අතර, කිලෝග්‍රෑම් 50ක රත්‍රං තොගයක් විකිණීමට ඉදිරිපත් වෙමින්, ගනුදෙනුව නීත්‍යනුකූල බව පෙන්වීම සඳහා ව්‍යාජ අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ සිදුවීම සම්බන්ධයෙන් ලද නිල පැමිණිල්ලකට අනුව, ඝානාවේ ජාතික ආරක්ෂක අංශ මඟින් 2025 ඔක්තෝබර් 16 වන දින වෙයිජා එස්.සී.සී. ප්‍රදේශයේදී සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අත්අඩංගුවට ගැනීමේදී රත්‍රං යැයි සැක කෙරෙන කහ පැහැති ලෝහ කැබලි දෙකක් සොයා ගෙන තිබෙන අතර, පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ ඒවායේ සත්‍යතාව තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරන බවයි.
මේ අතර ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙම නඩුවේ පැමිණිලිකරුවන් වශයෙන් කටයුතු කර තිබෙනවා. අඳාළ සැකකරුවන්ට එරෙහිව අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු දී වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා නම්: අබ්දුල් රවුෆ් ඇඩම්, අල්මාමූඩි සලේ, යෝ අට්ටා ඇන්ට්වි, ඔස්මාන් සුලේමාන්, න්යිරාබා ද්වාමේනා, බෙන්ස්කාර්ල් ද්වාමේනා, සාන්ෆෝ මුබසීර්, සල්ලා මාමූඩි, අහමඩ් ඉෂාහ්, උමරු පාෆඩෙනම් සහ සලීෆු සුලේමාන් යන අය බව සඳහන්.
කෙසේ වෙතත් 2025 ඔක්තෝබර් මස අගදී ඇක්රා පරිපථ අධිකරණ අට මඟින් මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව නියෝග ලර ඇත්තේ සෑම සැකකරුවකුටම ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇපයක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 33,000ක්) සහ ශරීර ඇප 02ක් බැගින් ඉදිරිපත් කළ යුතු බවයි. එසේම එක් ශරීර ඇපකරුවෙකු අනිවාර්යයෙන්ම ඉඩමක් සහිත දේපළකින් යුක්ත විය යුතු බවටත් අඳාළ නියෝගයේ සඳහන්.
ඒ අනුව අඳාළ දේපළවල මුල් ඔප්පු උසාවි රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතු වේ. කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන අතර, නඩුව නැවත 2025 නොවැම්බර් 20 වන දින කැඳවීමට නියමිත බව ද වාර්තා වේ. ඝානාව යනු ලෝකයේ ප්‍රමුඛතම රත්‍රං නිෂ්පාදක රටවලින් එකකි.
එසේම එය ඓතිහාසිකව ගෝල්ඩ් කෝස්ට් ලෙස හඳුන්වයි. පසුගිය 2022 වසරේදී සිය රත්‍රං නිෂ්පාදනය අවුන්ස මිලියන 3.7ක් දක්වා ඉහළ දමමින් අප්‍රිකාවේ ඉහළම රත්‍රං නිෂ්පාදකයා බවට ඝානාව පත්ව තිබෙනවා.
ඒ අනුව රන් වෙළඳාම එරට විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වන අතර, ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් කුඩා පරිමාණයේ රන් පතල් කර්මාන්තය මත යැපෙන හෙයින් එය ඝානා සමාජයේ මුල් බැසගත් කර්මාන්තයක් වේ.
කෙසේ වෙතත් මේ දිනවල ඝානාව ගැන මෙතරම් හෝ අවධානයක් යොමු වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොඩ් ලෙබ්බේ අලිම් මොහොමඩ් හිස්බුල්ලා හා බැඳුනු මෙම පුවතයි.
නැගෙනහිර පළාතේ ප්‍රමුඛ දේශපාලනඥයෙක් ලෙසත් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ලෙසත් සඳහන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2004 සහ 2005 වසරවලදී රාජ්‍ය සතු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (Airport and Aviation Services Limited) සභාපති වශයෙන් කටයුතු කර ඇත.
එම වකවානුවේ ඔහුට සහ ඔහුගේ බිරිඳට රුපියල් මිලියන 67.5ක වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලව ඇති බව වාර්තා වේ.
එසේම ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රජය සමග කොන්ත්‍රාත්තුවකට එළැඹීම සම්බන්ධයෙන් වූ චෝදනාවය ඔහු ලද ප්‍රධානම චෝදනාවක් විය.
මේ අතර හිස්බුල්ලා 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 82 වගන්තිය යටතේ 2025 වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2025 ජුනි 20 වන දින ඉදිරිපත් කර තිබෙනවා.
එහි 2025 මාර්තු 31 වන දිනට අදාළ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ඇතුළත්. ඒ අනුව එහිදී ඔහු තමන් සතු නිශ්චල දේපළ වශයෙන් කොළඹ 08, ලේක් ඩ්‍රයිව් (Lake Drive, Colombo 08) හි පිහිටි නිවසක් වාසස්ථානය ලෙස දක්වා ඇත.
එහෙත් අඳාළ දේපළෙහි වටිනාකම, එය අත්පත් කරගත් ආකාරය හෝ දිනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දක්වා නොමැත. තවද ව්‍යාපාරික සහ ආයතනික අයිතිවාසිකම් පිළිබඳ කොටසෙහි “කිසිවක් නැත” (NIL) යනුවෙන් සඳහන් කර ඇත.
මෙයට අවධානය යොමු වන්නේ, හිස්බුල්ලා මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු (Businessman) වශයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වීම නිසයි.
එබැවින් ඔහුගේ ව්‍යාපාරික වත්කම් පිළිබඳව මෙම කොටසෙහි කිසිදු තොරතුරක් ඇතුළත් නොවීම, වත්කම්වල සත්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් මහජනතාව තුළ ප්‍රශ්න මතු කිරීමට හේතු වී තිබෙනවා. ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම වත්කම් ප්‍රකාශය පදනම් කරගත් විට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලේ මූලාශ්‍රය තවදුරටත් අපැහැදිලි තත්ත්වයක් මතු වේ. ඒ වාර්තා වූ ලෙස 2023 වසරේ මැද භාගයේදී වංචාවට ලක් වූ ඩොලර් මිලියන 2ක මුදල ගෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාව ලැබුණේ කෙසේද යන්නයි.
යම් ලෙසකින් අඳාළ මුදල ඔහුගේ ව්‍යාපාරික ආදායමකින් ලැබුණේ නම්, ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් සඳහන් වුවත් 2025 ප්‍රකාශයේ ‘ආයතනික අයිතිවාසිකම්’ කොටසෙහි “කිසිවක් නැත” යනුවෙන් සටහන් කර තිබීම සහ එම මුදල පිළිබඳව කිසිදු සඳහනක් නොතිබීම බරපතළ ගැටලුවක් නොවේද? කෙසේ වෙතත් මෙම වත්කම් ප්‍රකාශය සපයා ඇත්තේ 2025 ජුනි මාසයේදී වේ.
එහෙත් ඒ සඳහා මාධ්‍ය අවධානය යොමුව ඇත්තේ ඝානා සිද්ධියෙන් පසුවයි.
එබැවින් කළ යුත්තේ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් මෙම මන්ත්‍රීවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම නොවෙද යන්න කාගේ කාගෙත් සිත් තුළ පවතින ගැටලුවයි.

