''පරාජයේ වේදනාව විශාලයි සුව වීමට කාලයක් ගත වෙයි'' - මෙසීගෙන් සංවේදි පණිවිඩයක්
FIFA ලෝක කුසලාන 2026 අවසන් තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ආර්ජන්ටිනා ඇඳුම් මාරු කාමරයේ සිදුවූ සිදුවීම් පිළිබඳව තවදුරටත් අවධානය යොමුව ඇති අතර, එම අවස්ථාවේ ලයනල් මෙසී සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් සන්සුන් කිරීමට උත්සාහ කළ බව දැක්වෙන දිගු වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ.
වීඩියෝවේ දැක්වෙන්නේ, සුදු පැහැති ආර්ජන්ටිනා ජැකට්ටුවක් පැළඳ සිටින මෙසී, කණ්ඩායම ඇඳුම් මාරු කාමරයෙන් පිටතට ගෙන යන අයුරුය.
එම අවස්ථාවේ කණ්ඩායම් සහායකයින්ගේ සහයෝගී හඬද ඇසෙන බව වාර්තා වේ.
තරග බිමට පිවිසීමට පෙර කණ්ඩායම් දෙක පෙළගැසෙන ස්ථානයට පැමිණි මෙසී, ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුට අතට අත දීම, උරහිසට තට්ටු කිරීම සහ ඇතැම් ක්‍රීඩකයන් වැළඳ ගැනීමෙන් සුහද ආචාර පළ කරන අයුරුද වීඩියෝවේ දැක්වේ.
විශේෂයෙන්ම ඔහුගේ දිගුකාලීන සමාජ ශාලාව වූ බාර්සිලෝනා සමඟ සම්බන්ධ ක්‍රීඩකයන් සමඟ මෙසී සුහදව කටයුතු කළ බව වාර්තා වී ඇත.
මේ අතර, ලයනල් මෙසී තරගාවලියෙන් අනතුරුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් සිට පෞද්ගලික ගුවන් යානයකින් ඔහුගේ උපන් ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබේ.
ගුවන්තොටුපොළේ රැඳී සිටි ආධාරකරුවන් හමුවේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයකින් මෙසී පවසා ඇත්තේ, මෙම පරාජයේ වේදනාව විශාල වන අතර එය සුව වීමට කාලයක් ගත වනු ඇති බවයි.
එසේ වුවද, කණ්ඩායම ලැබූ අත්දැකීම් සහ රට පුරා ජනතාවගෙන් ලැබුණු සහයෝගය තමන් අගය කරන බවද ඔහු සඳහන් කර තිබේ. විදෙස් වාර්තා අනුව, මෙසී සිය බිරිඳ ඇන්ටොනෙලා රොකුසෝ සහ දරුවන් තිදෙනා සමඟ ආර්ජන්ටිනාවට පැමිණ ඇති අතර, ඔහුගේ 68 හැවිරිදි පියා වන ජෝර්ජ් මෙසීද එහි සිට ඇත.
ඔහු රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල මීට පෙර අනාවරණය කර තිබුණි.