ලෝක නාවික ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් - සූවස් ඇළ යළි විවෘත වීමත් සමඟ හම්බන්තොට වරායට ඩොලර් කෝටි ගණනක අලුත් ව්යාපාරික වාසියක්
රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්යන්තර වරායට නව ව්යාපාරික අවස්ථා රැසක් නිර්මාණය විය හැකි බව හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය සදහන් කර තිබේ.
සමුද්රීය උපදේශන ආයතනයක් වන ලයිනර්ලිටිකා විසින් 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ පුරෝකථනයකට අනුව, 2027 පළමු කාර්තුව වනවිට බහාලුම් නෞකා ගමනාගමනය සූවස් මාර්ගයට විශාල පරිමාණයෙන් යළි පැමිණීමට අපේක්ෂා කෙරේ.
එම ක්රියාවලියේ වේගය කලාපයේ ආරක්ෂක තත්ත්වය සහ එක් එක් නෞකා සමාගමේ මෙහෙයුම් තීරණ මත රඳා පවතින බවද වාර්තා වේ රතු මුහුදේ ඇති වූ බාධා හම්බන්තොට වරාය බහාලුම් ප්රතිනැව්ගත කිරීමේ ව්යාපාරයට පිවිසීම වේගවත් කළ බව හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය සඳහන් කර ඇත.
කොළඹ වරායේ ඇති වූ තදබදය හේතුවෙන් අමතර බහාලුම් හැසිරවීමේ ධාරිතාවක් අවශ්ය වූ අවස්ථාවේ, 2024 අප්රේල් මාසයේ සිට හම්බන්තොට වරාය අතිරේක භාණ්ඩ හැසිරවීම ආරම්භ කර ඇත.
ඒ අනුව පසුගිය 2024 අප්රේල් 9 වැනිදා හම්බන්තොට වරාය සිය පළමු MSC බහාලුම් ප්රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කළ අතර, ධාරිතාව වැඩි කිරීමේ වැඩසටහන යටතේ නව බහාලුම් හැසිරවීමේ උපකරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 149ක් ආයෝජනය කිරීමටද කටයුතු කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්රධාන නැගෙනහිර–බටහිර නාවික මාර්ගයට නාවික සැතපුම් 10කට ආසන්න දුරින් හම්බන්තොට වරාය පිහිටා තිබීම, සූවස් මාර්ගය භාවිත කරන නෞකාවලට සේවා සැපයීම සඳහා විශේෂ භූගෝලීය වාසියක් බවයි.
ඔවුන් සඳහන් කර ඇත්තේ නෞකා ගුඩ් හෝප් තුඩුව වටා යන විකල්ප මාර්ගයෙන් ඉවත් වී සූවස් හරහා පවතින ප්රධාන නැගෙනහිර–බටහිර නාවික මාර්ගයට යළි පැමිණෙන විට, ඒවා හම්බන්තොටට වඩාත් සමීපව ගමන් කිරීම වරායට නව ව්යාපාර ආකර්ෂණය කරගැනීමේ අවස්ථා වැඩි කරන බවයි .
දැනට නැගෙනහිර–බටහිර භාණ්ඩ ප්රවාහනයෙන් සියයට 75කට ආසන්න ප්රමාණයක් අප්රිකාව වටා ගමන් කරන බවත්, ඒවා නැවත සූවස් මාර්ගයට යොමුවීමත් සමඟ හම්බන්තොට වරායේ නෞකා ඉන්ධන සැපයීම, නෞකා සැපයුම් සහ අනෙකුත් සමුද්රීය සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යා හැකි බවත් හම්බන්තොට ජාත්යන්තර වරාය පෙන්වා දී ඇත.
එමෙන්ම දේශීය ව්යාපාරවලට හම්බන්තොට වරාය භාවිත කරමින් ආනයන සහ අපනයන කටයුතු සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා දේශීය බහාලුම් භාණ්ඩ මෙහෙයුම්ද සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
වරාය ආශ්රිත කර්මාන්ත උද්යානය, ආයෝජන මණ්ඩල කලාප සහ ඉදිරි කාර්මික සංවර්ධන ව්යාපෘති මේ සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, නව බහාලුම් පරීක්ෂණ මධ්යස්ථානයක ප්රතිලාභද 2027 පළමු කාර්තුවේ සිට ලැබීමට නියමිතව ඇත.
කලාපයේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙමින් ඇති පසුබිමක, බහාලුම් ප්රතිනැව්ගත කිරීම, දේශීය ආනයන හා අපනයන භාණ්ඩ, කාර්මික මෙහෙයුම්, නෞකා ඉන්ධන හා සැපයුම් සේවා ඒකාබද්ධ කරමින් හම්බන්තොට වරායේ ව්යාපාරික අවස්ථා තවදුරටත් පුළුල් කිරීම හම්බන්තොට ජාත්යන්තර වරායේ අරමුණ බවද වාර්තා වේ.