''ඉදිරියේදී එන්නත්කරණය සීමා කරනවා: වහාම එන්නත ගන්න'' - වෛද්‍ය හේමන්ත හේරත්

srilanka Corona virus Sri lanka covid 19
By Sithumi Sep 21, 2021 11:13 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී එන්නත්කරණ කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බැවින් වහා ම එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (සැප්. 21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ඉදිරියේදී නිවෙස් ආසන්නයට ම ගොස් එන්නත් ලබා දීම වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක පමණක් එන්නත් ලබා දීමට සිදු වනු ඇති බවය. 

 එමෙන් ම, මෙරට එන්නත්කරණය ආරම්භ කර අවුරුද්දක කාලයක් ගත වී ඇති බවත් 'බූස්ටර්' මාත්‍රාවක් ලබා දීමට සිදුවුවහොත් ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සිදු වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.   විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ එම කරුණු සැලකිල්ලට ගෙන වහා ම කොවිඩ් එන්නත ලබා ගැනීමට යොමු වන ලෙසය. 

 "අපිට ඉදිරියේදී දැන් වගේ නිවෙස් ළඟට ම ගිහිල්ලා එන්නත් කිරීම වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක පමණයි එන්නත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහාත් අපට කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළුවන් වෙයි ද කියන්න බැහැ. ඉදිරි මාස කිහිපය තුළ අපි ඊළඟට ළඟා වෙනවා මේ එන්නත් ලබා දී අවුරුද්දක් ගත කරන කාල සීමාවට.

සමහර වෙලාවට බූස්ටර් ඩෝස් එකක් ගැන කතා වෙනවා. එවැනි එන්නත් කිරීම ආරම්භ කිරීම සිද්ධ වුණොත් මේ සඳහා කාලය ගත කිරීමට තවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ල සැලකිල්ලට අරගෙන වහා ම එන්නත ලබා ගන්න කියලා සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා."