නීතීඥ සංගමයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව තම කනස්සල්ල පළ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බව සහ අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බවයි.
අදාල නිවේදනය මගින් විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බව හා අදාළ කරුණු නීත්‍යානුකූලව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බව ද නිතීඥ සංගමය සදහන් කර ඇත.
නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් නීතියට අනුව තීරණ ගත යුතු බවත්, එම තීරණ ඇතැම් විට මහජන මතය අනුව සිදු නොවන්නට ඉඩ ඇති බවත් වටහා ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.